කොටි නායකයාගේ උපන්දිනය හා මහවිරු සැමරුම් අස්සේ ගිනි අවි, බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් යාපනයේ පාරක කුණු කාණුවක දමා ගිහින්.
යාපනය වඩුක්කොඩ්ඩෙයි මාර්ගයේ නාවන්තුරෙයි ප්රදේශයේදී මාර්ගයේ කුණු කානුවක දමා ගොස් තිබූ යුද උපකරණ රැසක් අඩංගු පොහොර උරයක් අද (26දා) උදෑසන හමු වූ බව යාපනය පොලීසිය කියා සිටියේය.
ජේ.85 නාවන්තුරෙයි උතුර ග්රාමසේවා වසමට අයත් මාර්ගයක කුණු කානුවකට අදාළ අයුධ තොගය අද අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් දමා ගොස් ඇති අතර, ප්රදේශවාසියෙකු මේ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් පසුව අදාළ යුද උපකරණ තොගය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ගොඩට ගෙන තිබේ.
අදාළ පොහොර උරයේ තිබී ටී.56 ගිනි අවි 10ක් , ටී.56 පතුරම් 300ක්, මැගසින් 6ක්, ජී.පී.වර්ගයේ අත්බෝම්බ 02ක්, දුම්බෝම්බ 02ක්, ඇතුළු තවත් යුද උපකරණ තොගයක් හමු වී ඇත.
අදට යෙදී ඇති කොටි නායකයාගේ උපන් දිනයත්, හෙටට යෙදී ඇති මහවිරු දිනයත් හේතුවෙන් යාපනය දිස්ත්රික්කයේ මේ වනවිට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් විශේෂ ආරක්ෂිත සෝදිසි මෙහෙයුම් කිහිපයක් දියත් කරන අතර, වරින් වර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඇතැම් කල්ලි බිය වී මෙසේ ආයුධ ගෙනවිත් දමන්නට ඇති බවට යාපනය පොලීසිය සැක පළකර සිටියි.
අදාළ ගිනි අවි මෙතෙක් කාලයක් කවුරුන් ළඟ තිබුනේදැයි යන්න පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබේ.