පුද්ගලයන් 300කට අධික පිරිසකට මරු කැඳවමින් මුහුදුබත් වූ දකුණු කොරියානු යාත්‍රා අනතුරේදී ආපදාවට ලක්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් පිළිබඳව දිගින් දිගටම එරට රජයට එල්ලවන චෝදනා හමුවේ දකුණු කොරියානු අගමැති චන්ග් හොන්ග්-වොන් සිය ඉල්ලා අස්වීම දැනුම්දී තිබේ.
සෙවෝල් යාත්‍රාව මගීන් 476 දෙනෙකු සමග පසුගිය අප්‍රේල් 16 වැනිදා මුහුදුබත් වූ අතර, එහි ගමන් කළ වැඩි පිරිසක් උසස් පාසලක සිසු සිසුවියන් හා ගුරවරුන් වූහ.
මෙම යාත්‍රා අනතුරින් පසුව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත කිමිදුම්කරුවන් විසින් මළ සිරුරු 183ක් සොයාගෙන තිබුණු අතර, තවත් විශාල පිරිසක් තවමත් අතුරුදන්ව සිටී.
මෙම ගලවා ගැනීමේ මෙහෙයුමේ මන්දගාමී ස්වරූපය සම්බන්ධයෙන් ආපදාවට පත්වූවන්ගේ ඥාතීන් දිගින් දිගටම දකුණු කොරියානු රජයට චෝදනා කරන්න විය.
“මට අවශ්‍ය වුනේ මේ සිදුවීම සිදුවූ මුල් දිනවලම ධුරයෙන් ඉල්ලා අස්වීමටයි. නමුත්, මට හැකි උපරිමයෙන් මේ අවස්ථාවේ කටයුතු කිරීමට ප්‍රමුඛත්වය දුන්නා. මන්දයත්, ඉල්ලා අස්වීමට වඩා අවශ්‍ය අවස්ථාවේ උදව් කිරීමේ වගකීම මා සතු වුණා.” යැයි තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරමින් දකුණු කොරියානු අගමැතිවරයා පවසා සිටී.
“ඒ අනුව පාලනාධිකාරය වෙනුවෙන් තවදුරටත් කරදරයක් නොවී දැන් මා ඉල්ලා අස්වීමට තීරණය කළා.”
මෙම යාත්‍රා අනතුරින් පසු දිනම දකුණු කොරියානු අගමැතිවරයා ආපදාවට පත්වූවන්ගේ ඥාතීන් හමුවූ අතර එහිදී ඥාතීන් ඔහුට හූ කියමින් වතුර බෝතලයකින්ද දමා ගැසූ බව කියවුණි.