මොන මට්ටමේ දේශපාලනඥයෙක් වුණත් නීතිය අකුරට
"වංචා හා දූෂණවලට කිහිපදෙනෙක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගන්න කටයුතු කළා. මොන මට්ටමේ දේශපාලනඥයෙක් වුණත් කමක් නෑ නීතිය අකුරටම ඉටුකරන්න නියෝග ලබාදීලා තියෙනවා. හෙට අනිද්දා වෙනකොට තවත් කීපදෙනෙක් නීතියේ රැහැනට හසුකර ගන්න නියමිතව තියෙනවා" යැයි සමාජය සාමය, ආපදා කළමනාකාරණය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යය ජෝන් අමරතුංග මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ මාතර දෙණියාය පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (07දා) සහභාගී වෙමිනි. මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමට රු. ලක්ෂ 650 ක මුදලක් වැයකර තිබුණි. මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යාවරයා,
" පසුගිය කාලයේ අපට ආරංචි හැටියට මේ ප්‍රදේශය සම්පූර්ණයෙන් දේශපාලනය වෙලා තිබුණේ. පොලීසිය පාලනය කළේ පොලිස්පතිතුමා නෙමෙයි, වෙනත් පිරිසක්. අපි කතා කරන පොලීසියේ අභිමානය, ගෞරවය පැත්තකට දාලා තිබුණේ. අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා අපට උපදෙස් ලබාදුන්නා කරුණාකරලා දේශපාලනයට පොලීසිය ගාවගන්න එපා කියලා. එය අකුරටම පිළිපදින්න අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලයේ පොලීසියට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි. හමුදාවට තිබුණ තත්ත්වයන් පොලීසියට ලැබුණෙ නෑ.
ඒ නිසා ඔවුන්ට ලැබිය යුතු ගෞරවය නැවත ලබාදෙන්න කටයුතු කරමින් යනවා. හැකි ඉක්මනින් අපි මේ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලා, පොලිස් කොමිසම නැවත ස්ථාපිත කරලා පොලීසියේ ගෞරවය ලබාදෙන්න කටයුතු කරනවා. ඊට පස්සෙ මටවත් බැහැ පොලිස් නිලධාරීන්ට කිසිවක් කියන්න. මෙය දින 100 වැඩසටහනේ තවත් එක් වැඩක්. එය කරන අතරේ ප්‍රජා පොලීසිය පිහිටුවලා සිවිල් ආරක්ෂක කමිටු ස්ථාපිත කරන්නබලාපොරොත්තු වෙනවා.
පහුගිය කාලයේ මිනීමරපුවා, මංකොල්ලකෑම් කරපුවාට පැමිණිලි කෙරුවත් යටගහලා තිබුණේ.මේ වංචා ඔක්කොම එළියට අරගෙන සොයා බලන්න. වගකිව යුත්තා කුමන මට්ටමේ දේශපාලනඥයෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරන්න උපදෙස් ලබාදීලා තියෙනවා. අද සමහරු මගෙන් අහනවා යහපාලනය කියලා හොරුන් වංචාකාරයන් අල්ලන්නෙ නැත්තේ ඇයි කියලා. මේක මම හැමවෙලේම පොලිස්පතිතුමාට කියනවා, නමුත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්නයි ඔවුන් බලන්නේ. දැන් කුඩු රජෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මිනිහගේ වත්කම් බැලුවාම හිතාගන්න බෑ. ඒ වගේ ජනතාව විනාශ කරලා උපයන මුදල් මං හිතන්න නෑ යාදෙනවා ඇති කියලා." යැයි ඔහු පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

