අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීමට මාදුළුවාවේ සෝභිත හිමියන් ප්රමුඛ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය මුල්වූයේ වන්දිභට්ටකම් කිරීමට නොව හැට දෙලක්ෂයක් වූ ජනතාවගේ මනාපය සහිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීම පිණිස බව එම ව්‍යාපාරය පවසයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනතාවගේ බහුතරයක් ඡන්ද මත ජාතික ආණ්ඩුවක් ස්ථාපිත වී ඇති අතර, ඒ අනුව පත් වූ නව ජනාධිපතිවරයා දින සියය තුළදී අල්ලස් ගැනීම් හා දූෂණ රටින් අතුගා දැමීමට ක්‍රියාකළ යුතු බව එම ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ කෝට්ටේ නාග විහාරයේ ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය දැරූ ව්‍යායාමය වන්නේ මීට පෙර පැවැති ආණ්ඩුවට සහාය දෙමින් එවකට රජයේ ආයතනවල තනතුරු ප්රතිලාභ භුක්ති විඳි පුද්ගලයන්ට නැවත රාජ්‍ය සැප සම්පත් ලබාදීම නොවන බව එම මාධ්‍ය හමුවට සහභාගී වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේය.
පොලීසිය, මැතිවරණ කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිසම සහ නීතිය අතට ගෙන මීට පෙර සිටි ජනපති ඇතිකර තිබූ ජරාජීර්ණ ක්‍රමයත්, දූෂිත මැතිවරණ ක්‍රමයත් අවසන් කිරීමට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය දුර ගමනක් ආරම්භ කළ බවද මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
'මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළේ සතුටුවෙමින් ඉන්න නොවේ. ඊට වඩා පුළුල් අරමුණක්, ප්‍රතිපත්ති රැසක් එම පුටුවේ වාඩිකර ඉෂ්ට කිරීමටයි. රටේ වෙනසක් ඇති කිරීමටයි. එය ලේසි නැහැ. නමුත්, කළ යුතු වැඩක්. මේ සමාජයට අසීමිතව බල පෑ විධායක ජනාධිපති ක්‍රමයත්, ඒ මගින් පොලීසිය, මැතිවරණ කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිසම, හිටපු ජනාධිපතිවරයා නීතිය තමත් අතට ගෙන ජරාජීර්ණ කළ එම ක්‍රමයත්, දූෂිත මැතිවරණ ක්‍රමයත් වෙනස් කිරීමට අපි මේ වෙනුවෙන් දුර ගමනක් යාමට ආරම්භ කළේ. අපි මේක නවත්තන්න මුලින් හිටපු ජනාධිපතිවරයාට බලකළා. ඉන්පසුවයි සුදුස්සෙක් විදිහට මෛත්‍රීපාල ජනාධිපතිවරයා ආවෙ. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට මේ ආණ්ඩුවට අවශ්‍යයි. මේ සියල්ලට හැමෝගෙම සහාය අවශ්‍යයි. නමුත්, අල්ලස් ගැනීම්, දූෂණ රටින් අතු ගා දැමිය යුතුයි. ඒ ගැන අපි ඇස් ඇරගෙන බලන් ඉන්නවා. මාධ්‍යවේදීනුත් මේ ගැන උකුසු ඇස් ඇරන් ඉන්න. පක්ෂග්රාහී නොවී, කාටවත් වන්දිභට්ටකම් නොකර ක්‍රියා කරන්න. වරදක් දුටු තැන ඒ ගැන හොයා බලා ලියන්න' යනුවෙන් උන්යහන්සේ සඳහන් කළහ.
එහිදී අදහස් දැක්වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා,
'පසුගිය ජනවාරි 08 වැනිදා අප ලැබූ ජය සුළු පටු නැහැ. ඉන් පරාජය වූ හිටපු ජනපති පවසනවා මෛත්‍රීපාල ජනාධිපතිවරයට ලැබුණේ ඊලාම් ඡන්ද බව. මේ ඡන්දය සන්ධාන ආණ්ඩුව කළේ සදාචාර විරෝධීව සැකසහිත මූලාශ්‍රවලින් අල්ලස් බෙදාහැරලා, රාජ්‍ය මාධ්‍ය ආයතන අන්තිම නිර්ලාජ්ජිත ආකාරයෙන් භාවිත කරමින්, ගොබෙල්ස් පන්නයට අසත්‍ය ප්‍රචාර පතුරුවා, වංචනික ලෙස ක්‍රියාකළේ. අපි මේ ව්‍යායාමය කළේ මීටපෙර රාජ්‍ය තනතුරු, සැප සම්පත් ලැබූ අයට නැවත රාජ්‍ය සැප සම්පත් ලබාදීමට නොවේ. අපේ ලිපි ලේඛන මගින් එය ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තියෙනවා. ලබාගත් ජයග්‍රහණයේ අරමුණ වන්නේ පොදු අභියෝග නියෝජනය වන පාලන තන්ත්රයක් පවත්වාගැනීමයි. වගකි යුතු සාධක සඳහා සාධාරණ, ආයතනික වෙනස්කම් ඇතිකිරීමයි. තවදුරටත් කළ යුතු කාර්යභාරයට පුරවැසි සංවිධාන විශාල ප්‍රමාණයක් එක්වන මෙහෙයුමක් අවශ්‍යයි. බාහිර, අභ්‍යන්තර සතුරන්ගෙන් ජයග්‍රහණය බේරාගැනීමට පෙරට වඩා දීර්ඝ අභියෝගාත්මක කාර්යයක් සිදුකිරීම අවශ්‍යයි' යනුවෙන් කියා සිටියේය.