ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වන්නැයි ප්‍රධාන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් අතර ඊයේ (22දා) පැවැති සාකච්ඡාවේදී මහ ඇමතිවරුන් විසින් අදාළ යෝජනාව සිදුකර ඇති අතර හිටපු ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම අදාළ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැති මෙම සාකච්ඡාවට උතුර, නැෙගනහිර සහ උතුරු මැද යන පළාත් සභා හැර අනෙකුත් පළාත් සභාවල මහ ඇමතිවරු සහභාගි වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වන්නැයි මෙහිදී ප්‍රධාන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ යෝජනාවට හිටපු ජනාධිපතිවරයාගේ එකඟතාව පළ නොවීය.
සාකච්ඡාව අතරතුර යම් යම් අවස්ථාවල උස් හඬින් අදහස් පළ වූ බවද වාර්තා වේ. මෙම සාකච්ඡාව පිළිබඳ කළ විමසීකදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා සමග ඉදිරියටත් මෙවැනි සාකච්ඡා වට පැවැත්වීමේ අරමුණින් ඊයේ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් කළ බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කොට පක්ෂය ජයග්‍රාහී මාවතට ගෙන එන තෙක් මෙම සාකච්ඡා මාලාව අවසන් නොකරන බවද ඒ මහතා කීය.
“සාකච්ඡාව හොඳට ගියා. ගැටලුවක් වුණේ නැහැ. අපි අවසන් තීන්දුවක් ගත්තේ නැහැ. ඉදිරියේදී සාකච්ඡා කිරීමට ඉඩ තබාගෙනයි සාකච්ඡාව අවසන් වුණේ. මෙය ආරම්භයක් පමණයි. වර්තමාන දේශපාලන තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට දවස ගැනයි අපි කතා කළේ. කණ්ඩායම් දෙකක් යනවිට අභියෝගවලට මුහුණදීමට සිදුවන නිසා මතුවන ගැටලු සහ අර්බුද ගැන අපි සාකච්ඡා කළා.
මහින්ද මහත්තයා බොහොම සතුටු වුණා මහ ඇමතිවරු හැටියට සාකච්ඡාවකට පැමිණීම සම්බන්ධයෙන්. ඉදිරියේදී සාකච්ඡා කරමු කියලා සාකච්ඡාව අවසන් කළා. ජයග්‍රහණය ලබාගෙන පක්ෂය එක්සේසත් වෙනතුරු අපි මේ සාකච්ඡාව දිගටම පවත්වනවා" යනුවෙන් දේවප්‍රිය මහතා සඳහන් කළේය. ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සාකච්ඡාව පැවැත්වෙන අතරතුර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට පැමිණ සිටියහ.
එම අවස්ථාවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ විවිධ දෝෂාරෝපණ එල්ල කොට අපහසුතාවන්ට ලක්කර ඇති පසුබිමක එක්ව ගමනක් යාම දුෂ්කර යැයි හිටපු ජනාධිපතිවරයා විසින් මහ ඇමතිවරුන්ට පැවසූ බවයි. පසුගිය මහ මැතිවරණයේදී මෙන්ම ඉදිරියේදීද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය හංසයාගෙන් ඉල්ලන ලෙසත්, තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම බුලත් කොළයෙන් හෝ නෙළුම් පොහොට්ටුවෙන් ඉල්ලන බවත්, එසේ වුවහොත් පක්ෂය බෙදීමකට ලක්නොවන බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැවසුයේ යැයිද අබේවර්ධන මහතා කියා සිටියේය.
“මහ ඇමතිවරුන් ඇවිත් කතා කළා පක්ෂයේ බෙදීම නිසා ඊළඟ මැතිවරණයෙන් අපි පරාජය වෙනවා කියලා. ඒ නිසා එකමුතු වෙලා යන්න කියලා එතුමන්ලා යෝජනා කළා. මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ ඒ ගැන කිසි ගැටලුවක් නැහැ, නමුත් තක්කඩියා කියලා බැනලා ආයේ එකතු වෙන්න කියන එක ගැන කතා කරන්න අමාරුයි කියලා. ඔයගොල්ලන්ට අපට මේක කරන්න බැහැ කිව්වා. හිටපු ජනාධිපතිතුමා කිව්වේ අපට මේකට එකඟ වෙන්න බැහැ, මිනිස්සුන්ගේ මතය වෙන මතයක් කියලයි.
ජනාධිපතිතුමාට අපහාස කරලා, උපහාස කරලා, හිරේ දාන්න හදලා, දෙන්න පුළුවන් දස වද ඔක්කොම දීලා දැන් සමගි වෙන්න කියද්දි කොයි මෝඩයද ඒකට කැමති වෙන්නෙ. ගිය සැරේ අපි පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලුවා විශ්වාස කරලා. අවසානයේ අපි 117 ක් දිනන්න එනකොට ලේකම්වරු දෙන්නා අයින් කෙරුවා, අගමැතිකම දෙන්නෙ නෑ කියලා ප්‍රකාශ දුන්නා. එහෙම කරලා අපිව පැරැද්දුවා. ඒ වැඩේ ආයෙ නොකරාවි කියලා කොහොමද අපට සහතික වෙන්නේ. ඒවා ගැන කතා වුණා.
හංසයගෙන් ඒ අය ඉල්ලලා, අපි බුලත් කොළයෙන් හරි නෙළුම් පොහොට්ටුවෙන් හරි ඉල්ලුවොත් පක්ෂය බෙදෙන්නැහැ. එහෙම වුණාම කැමති කෙනෙකුට හංසයාට දෙන්න පුළුවන්. කැමති කෙනෙකුට බුලත් කොළයට දෙන්න පුළුවන්. ඒ නිසා හංසයාගෙන් ඉල්ලන්න අපි සූදානම් නැහැ කියලා හිටපු ජනාධිපතිතුමා කිව්වා" යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.