පොදු විපක්ෂය කිසි විටෙකත් රහසිගත ගිවිසුම් නොගැසූ බවත්, එකම ගිවිසුම 'මෛත්‍රී පාලනයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය පමණක් බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඊට එකඟවන ඕනෑම අයෙකුට පොදු විපක්ෂයට පැමිණිය හැකි නමුත් එය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන් සැලුන් දොරක් නොවන බවද ඒ මහතා පවසා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (29දා) පොදු විපක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ රණවක මහතා,
“මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මුස්ලිම් කොංග්රසයත් අතර කිසිම ආකාරයක එකඟතාවක් නෑ. හකීම් මහතා හෝ වෙනත් ඕනෑම කෙනෙක් පැමිණිය යුත්තේ පොදු ප්‍රතිපත්ති ප්රකාශනයට එකඟවයි. මෙයට එකඟ නම්, යහපාලනය ප්රජාතන්ත්රවාදය රකිනවා නම් මේ සඳහා ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. හැබැයි මේක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සැලුන් දොර වගේ නෙවෙයි. ඕනෑම කෙනෙකුට ඇවිත් ඕන ප්‍රතිපත්තියක් තියාගෙන ඕන ඇමතිකමක් කරන්න පුළුවන්කමක් නෑ. මේ ප්‍රතිපත්ති ප්රකාශනයට හා ඒ හා බැඳිච්ච ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලට එකඟ අයට පමණයි එන්න පුඵවන්.
මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය හිස් කොළයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හිස් කොළයක්. එතුමා කරන්න යන්නෙ මොනවද කියන එක කිසිදු සටහනක් නෑ. අපේ ව්‍යවස්ථා සංශෝධනයේ අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා මොනවද වෙනස් කරන්නෙ, මොනවද වෙනස් නොකරන්නේ කියලා. රටේ ඒකීයභාවය වෙනස් නොකරන මූලික කොන්දේසි මෙහි අඩංගුයි. ජනතාව බියවද්දවන්නට බොරු ප්‍රචාර කරන සියලු දෙනාටම අපි බොහොම අභිමානයෙන් කියනවා මේ රටේ ඒකීයභාවය අතීතයේ රැක්කේ අපි. මහින්ද රාජපක්ෂ මහත්තයාටත් ඒකීයභාවය ලබලා දුන්නෙ අපි.
ඒ වගේම නැවත රට යුද්ධෙට යනවද කියන ප්‍රකාශයට බොහොම පැහැදිලිව අපි කියනවා මහින්ද මහත්තයා 2005 දී මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශයේදී කිසිතැනක කිව්වෙ නෑ ප්රභාකරන් එක්ක යුද්ධ කරනවා කියලා. එතුමා කිව්වෙ සෘජුව සාකච්ඡා කරනවා, ඒ සඳහා ප්‍රභාකරන්ව හමුවෙනවා කියලා. එතුමා අපට හොරෙන් බැසිල් රාජපක්ෂ මහත්තයා යොදවලා සාකච්ඡාවක් කළා' යැයි පැවසීය.
“තමන්ගේ මහලේකම්වරයාව කැලේට යැවුවා. ඡන්ද වර්ජනය කරගන්න පුළුවන්ද බැලුවා. ජයලංකා ව්‍යාපාරය යටතේ එතුමා බලයට පත්වුණාම සුනාමි නිවාස හදන්න කියලා මිලියන 700කට අධික මුදලක් නිකුත් කළා. චෝදනා තියෙනවා ඒ මුදල් ගියේ කොටි සංවිධානයේ එමිල් කාන්තන්ට අයිති යම් යම් සමාගම්වලට කියලා. ඒ ගැන අපි අනාගතයේ සොයා බලනවා. එතුමා ජිනීවාවලට ගිහින් කොටි සංවිධානය එක්ක සාකච්ඡා කළා.
ඒ වගේම තමන්ගේ පක්ෂයේ ලේකම්, මහවැලි, පරිසර වාර්මාර්ග ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ තැතක් ඇතිකළා. ඊට පහුවදා රටේ හමුදාපතිවරයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකාව හමුදා මූලස්ථානයේදී ඝාතනය කරන්නට සැලසුම් කළා. එතකොට අපි කොටි ත්රස්තවාදයට එරෙහිව සටන් කරමු කිව්වට ඒක කළේ නෑ. එහෙම අය අද කොටි පැරදුවේ මමය, යුද්ධය ජයග්‍රහණය කළේ මමය කියල ඉදිරිපත් වෙනවා. අපි දැක්කා උදේට දේශප්‍රේමීත්වය ගැන කතාකරලා රෑට එල්.ටී.ටී.ඊය සමග සාකච්ඡා කරනවා. මෙතුමාගේ ද්විත්ව චරිතය හෙළිවුණේ මාවිල්ආරු සොරොව්ව අසලදීයි.
මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ඇතුළේ කිරිපොවා ඇති දැඩි කරන කුමරන් පද්මනාදන් ඇතුළු සියලු කොටි නායකයන් නීතිය ඉදිරියට පමුණුවන්න කටයුතු කරන බව අපි බොහොම වගකීමෙන් කියනවා. ඒ වගේම විදේශගත එල්.ටී.ටී.ඊ. සහ වෙනත් දෙමළ ජාතිවාදී කල්ලි කණ්ඩායම්, රටින් පිටත තියන රුද්රකුමාරන්ගේ එල්.ටී.ටී.ඊ. ආණ්ඩුව ඇතුළු මේ ඔක්කොම ඡන්දෙ වර්ජනය කරන්න ඕනේ කිව්වා. මම බොහොම වගකීමෙන් කියනවා දකුණු අප්‍රිකාව හරහා සිරිල් රම්ෆෝසා හරහා එල්.ටී.ටී.ඊයේ විදේශගත පිරිස් එක්ක මේ භයානක ගනුදෙනුව කරන්නේ රාජපක්ෂ පිළ' යනුවෙන්ද ඔහු කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,
“ඇතැමුන් අද ප්‍රචාර පතුරවාගෙන යනවා රාවුෆ් හකීම් මහත්තයට පොරොන්දු වෙලා තියෙනවා කියලා මේ සන්ධානය අම්පාරේ වෙනම දිස්ත්‍රික්කයක් දෙන්න. ඒක අමූලික බොරුවක්. එවැනි කිසිම එකඟතාවක් නෑ. අපි ඒක බොහෝම වගකීමෙන් කියනවා. සමහරු අහනවා හෙළ උරුමය රෙදි ඇඳගෙනද හකීම් එක්ක ඉන්නෙ කියලා. හකීම් මහත්තයා ඔය ආණ්ඩුවේ හිටියෙ. දැන් එහෙම ගියාමද නරක් වෙලා තියෙන්නෙ. ඇමති මණ්ඩලෙත් ඔහු හිටියනේ. එහෙම හිටිය කියලා කිසිම වෙලාවක ඒ අන්තවාදී බෙදුම්වාදීභාවයට ඉඩ දීලා නෑ. හැබැයි ඕන මුස්ලිම් ජාතියකට, ඕන මුස්ලිම් ප්රජාවකට අයිතිය තියෙනවා ප්රජාතන්ත්රවාදී යහපාලනයකට දායකවෙන්න" යැයි මහලේකම්වරයා මෙහිදී පැවසීය.