රට තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා ඩයස්පෝරාවේ අදහස්, උදව් උපකාර ලබාගැනීමට රජය තීරණය කර තිබෙන බවත් ඒ අනුව මේ වසරේ දී ඩයස්පෝරා උත්සවයක් පවත්වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහිෂානි කොලොන්නගේ මෙනවිය සඳහන් කළාය.
උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ පවා සඳහන් කර තිබෙන්නේ රට තුළ සංවර්ධනය සිදුකිරීමට හා සංහිඳියාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සිටින ඩයස්පෝරාවේ නියෝජිතයන්ගේ හා රටින් පිට සිටින ඩයස්පෝරාවේ නියෝජිතයන්ගේ අදහස් උදව් උපකාර ලබාගැනීමට බවද ඇය පවසා සිටියාය.
ඊයේ (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සදහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරිය වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ආණ්ඩුව විසින් රට තුළ බෙදුම්වාදය ඇති කිරීම සඳහා උදව් කළ සුරේන් සුරේන්ද්‍රන් නැමැත්තා සමග වර්තමාන රජයේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සමග සාකච්ඡා කිරීම වැරදි බවට සඳහන් කළද පුද්ගලයන්ගේ ඉතිහාසය පිළිබඳව සොයා බලා කටයුතු කළ නොහැකි බවයි.
එවැනි සොයා බැලීමක් කරනවා නම් මේ රටේ දේශපාලඥයන් ගැනද සොයාබැලිය යුතු බවත්, එසේ වුවහොත් මේ රටේ බොහෝ දේශපාලඥයන් පිළිබඳවද විශ්වාසයක් තැබිය නොහැකි බවත් මාධ්‍ය ප්‍රකාශකවරිය සඳහන් කළාය.
මේ නිසා වර්තමාන ආණ්ඩුව ගෙනයන සංහිඳියා වැඩපිළිවෙළ සඳහා සියලුම දෙනාගේ අදහස්, උදව් උපකාර ලබාගැනීමට තීරණය කර ඇතැයිද ඇය පවසා සිටියාය. රජය ගෙනයන සංහිඳියා වැඩපිළිවෙළට රටින් පිට සිටින බුද්ධිමතුන් උදව් උපකාර කිරීමට මේ වනවිට කැමැත්ත පළකර තිබෙන බවත්, එම පිරිස් දිරිමත් කිරීම සඳහා ඩයස්පෝරා උත්සවයක් මේ වසර අවසානයේදී පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බවත් ඇය සඳහන් කළාය.