ගෝලීය වශයෙන් තරගකාරී කර්මාන්ත වඩාත් ලිහිල්කරණයට ලක් කිරීම සිය අමාත්‍යාංශයේ උපායමාර්ගික අරමුණ බව බව මුදල් අමාත්‍යාංශයේ උපදේශක මනෝ තිත්තවැල්ල මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ ‘අයවැය 2018’ සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්වුණු වැඩමුළුවක් අමතමිනි.
මෙරට නාවික සහ බහලුම් මෙහෙයුම් කටයුතු සඳහා අවස්ථාව විදේශීය සමාගම් වෙත පූර්ණ වශයෙන් නිදහස් කිරීම පිළිබඳව පවතින අයවැය යෝජනාව සම්බන්ධ අදහස් දක්වමින් ඒ මහතා මේ අදහස් දැක්වීය. එසේම මෙම අයවැය යෝජනාව කිසිලෙසකින්වත් නාවික ප්‍රවාහන සමාගම් ඉලක්ක කරගනිමින් සිදුකරවූවක් නොවන බවත්, තරගකාරී කර්මාන්ත වඩාත් ලිහිල්කරණයට ලක් කිරීම අරමුණ වූ බවත් ඒ මහතා පවසා සිටියේය.
“මේ හරහා අපේ ආර්ථිකයේ කැපී පෙනෙන ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගැනීමට අපට හැකි වේවි. ඒ වගේම තමයි අපේ රටේ සිටින අපනයනකරුවන්ට තමන්ගේ නිෂ්පාදන අපනයනය සඳහා මෙය මහඟු අවස්ථාවක් බවට පත් වෙනවා.” මනෝ තිත්තවැල්ල මහතා මෙහිදී පැවසීය.
මෙහිදී විශේෂයෙන්ම කොළඹ වරායට අමතරව හම්බන්තොට වරායද මේ කටයුත්තේදී වැදගත් කාර්ය භාරයක් සිදුකරන බව පැවසූ තිත්තවැල්ල මහතා ඒ හරහා මෙරට සාමුද්‍රීය කටයුතු වඩාත් සංවර්ධනය කිරීම අරමුණ වී ඇතැයිද සඳහන් කළේය.