මුලතිව්, මුල්ලිවයික්කාල් ප්රදේශයේ කසළ ගොඩක තිබූ ආර්.පී.ජී. උණ්ඩයක් ඊයේ (12දා) රාත්රියේ පුපුරා යෑමෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවත්, පුද්ගල හානි කිසිවක් වාර්තා නොවන බවත් මුලතිව් පොලීසිය පවසයි.
මුල්ලිවයික්කාල් ප්රදේශයේ පුද්ගලයෙකු විසින් සිය ගෙවත්තේ පිහිටි කසළ ගොඩකට ගිනිතබා ඇති අතර, සුළු වේලාවකින් විශාල ශබ්දයක් සමග ආර්.පී.ජී. උණ්ඩය පුපුරා ගොස් ඇත.
මෙම පිපිරීම සිදුවන අවස්ථාවේ කසළ ගොඩ ආසන්නයේ කිසිවෙකුත් සිට නොමැති අතර, අසල පිහිටි නිවාස කිහිපයකට සුළු හානි සිදුව තිබේ.
මෙලෙස පුපුරා ගිය ආර්.පී.ජී. උණ්ඩය යුද සමයේදී වළ දමන්නට ඇති බවටත්, කසළ ගොඩට ගිනි ගැනීමෙන් ඇති වූ පීඩනය හේතුවෙන් එය පුපුරා යන්නට ඇති බවටත් පොලීසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.