මැදපෙරදිග රටවල් කිහිපයකදී මියයන ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගේ අවයව කොටස් ලබාගැනීම පිළිබඳව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.
කෙසේ නමුදු මෙම චෝදනා තවමත් තහවුරු වී නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. වාචික පිළිතුරු අවස්ථාවේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විමසා සිටියේ පසුගිය වසරේ නොවැම්බර් 22 දා මියගිය කාන්තාවකගේ ශරීර අවයව කොටස් අතුරුදන් වීම සම්බන්ධව රජය දැනුවත්දැයි යන්නයි.
පිළිතුරු ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ස්වාභාවිකව සිදුවන මරණ සම්බන්ධව ඥාතීන් සැක පළකරන අවස්ථාවල එම රටවල හදිසි මරණ පරීක්ෂණවලදී සිරුර විච්ඡේදනය කරන බවයි.
එම අවස්ථාවල ඇතැම් ශරීර කොටස් ඉවත්කොට සිරුර යළි සකස් කිරීමේදී ඒවා යළි එකතු නොකරන හෙයින් සිරුර කොටස් අස්ථානගත විය හැකි බවද ඔහු කීය.