අයි.එස්. ත්රස්තවාදීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මැදපෙරදිග යම් අස්ථාවරත්වයක් ඇති වුවහොත් එහි බලපෑම ඍජුවම මෙරටට එල්ල වන බවත්, එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග පෙර සූදානම් (Stand by) වැඩපිළිවෙළකට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය ආරම්භ කරමින් අගමැතිවරයා මේ බව කීය.
එමෙන්ම 2016 වසර වනවිට ලෝක ආර්ථිකයේ විශාල අස්ථාවරත්වයක් ඇති වීමට නියමිත අතර, අනිකුත් රටවල ආර්ථික වර්ධන වේගය අඩුවීම මෙරටටද බලපා ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය
තවද සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කිරීම පිළිබඳව වෘත්තීය සමිති නායකයන් සමග සිදුකළ සාකච්ඡාවේදී එම අරමුදල් දෙක වෙන වෙනම පවත්වාගෙන යාම සහ සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකාරීත්වය මහ බැංකුව යටත් පාලනය කිරීම ඔවුන්ගේ අදහස වූ බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර එම තීරණ වෘත්තීය සමිති නායකයන්ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවසන් තීරණය කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
රජයේ මුදල් සහ තවත් විෂයයන් 16 ක් යටතේ අධීක්ෂණ කාරක සභා ස්ථාපිත කර ඒවායේ සභාපතිත්වයට සාමාන්‍ය මන්ත්‍රීවරුන් පත් කරන අතර, එමගින් රාජ්‍ය පාලනයට පාර්ලිමේන්තුවම සම්බන්ධ කරගන්නා බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත්කිරීමේ යෝජනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අයවැය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වුවහොත් වහාම ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලය විසුරුවා හැරෙන අතර, ඊට අමතරව වෙනත් විශ්වාසභංග අවශ්‍ය නොවන බවද හෙතෙම කීය.
කෙසේ වෙතත් 2020 මහ මැතිවරණයේදී ජනාධිපතිවරයා සහ තමා ජනතාව ඉදිරියට යන්නේ පක්ෂ ගොඩනැගූ නායකයන් ලෙස නොව රට ගොඩනැගීමට එක්වූ පක්ෂ දෙකක සාමාජිකයන් ලෙස යැයිද අගමැතිවරයා වැඩිදුරටත් කීය.