මැතිවරණ ප්‍රකාශයට පත් කළ දින සිට ඊයේ (04දා) සවස 6.00 දක්වා කාලය තුළදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකළ 394 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් පුද්ගලයන් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලීසිය සිදුකළ මෙහෙයුම් 136කදී බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. සැකකරුවන් 60 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලීසියට ලැබුණු පැමිණිලි 168 කට අනුව බවද ඔහු පවසා සිටියේය.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්රචාරක කටයුතු සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්රියාක්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 892 ක් තම දෙපාර්තමේන්තුවේ පැමිණිලි ඒකකය වෙත ලැබී තිබෙන බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පැමිණිලිවලින් පැමිණිලි 163 ක් ලැබී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත්, අඩුම පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් බවත් එම ප්‍රමාණය පැමිණිලි දෙකක් බවද එම ඒකකයේ නිලධාරියෙක් සඳහන් කළේය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි 961 ක් ලැබී තිබෙන බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
එම පැමිණිලිවලින් පැමිණිලි 167 ක් ලැබී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට ඊයේ (04දා) සවස 6.00 ට පමණ වනවිට තම සංවිධානයටත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි 783 ක් වාර්තා වන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මෙම පැමිණිලිවලින් පැමිණිලි 79 ක් ලැබී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 470 ක් තම ආයතනයට ලැබී තිබෙන බව සී.එම්.ඊ.බී. ආයතනය සඳහන් කරයි.