මැතිවරණ ක්රමය වෙනස් කිරීම සම්බන්ධව පක්ෂ නියෝජිතවරුන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා සමග ඊයේ (10දා) සාකච්ඡා කළ අතර, එහිදී මෙරටට ගැළපෙන මැතිවරණ ක්රමය කුමක්දැයි යන්න පිළිබඳව සිය අදහස් දක්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
මෙහිදී එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ රැසක නියෝජිතයෝ මැතිවරණ කොමසාරිස්වරයා සමග පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සාකච්ඡා කළහ.
එහිදී පවතින ආසන 225 සීමාව පවත්වාගෙන යන බවට ඇතැම් අදහස් පළකළ අතර, එය සිදුකරන ආකාරය සාකච්ඡා කරන ලදී.
ඉන් ආසන 110 ක් කේවල ක්රමයට, තවත් 110 ක් සමානුපාතික ක්රමයට හා ඉතිරි ආසන 05 ජාතික ලැයිස්තුවට දියයුතුය යන යෝජනාව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය මතුකළේය. ආසන 130 ක් කේවල ක්රමයට 66 ක් සමානුපාතික ක්රමයට හා 29 ක් ජාතික ලැයිස්තුව යන ආකාරයට වෙනස් වියයුතු බවට තවත් යෝජනාවක් ඉදිරිපත් විය.
එසේම ආසන 225 සීමාව අසන 250 දක්වා තවත් 25කින් වැඩි කළ යුතු බවටද යෝජනා විය.
ලබන අඟහරුවාදා (17දා) තවත් මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.