ඉදිරි පළාත් පාලන මැතිවරණය කල්දමා ජනතාවගේ පරමාධිපත්‍යය බලය යටපත් කිරීමට කිසිදු බලවේගයකට ඉඩනොදෙන බව එක්සත් ජාතික පක්ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වූයේ ඊයේ (26දා) උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන් සදහා ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වාදීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායකමහතා,
"2015-ජනවාරි 8 වැනිදා ගොඩනැගූ යහපාලනය ආපස්සට හැරවීමට ඇතැම් පිරිසක් කකුලෙන් අදිමින් සිටියත් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් නිසි අවබෝධයකින් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යමින් සිටිනවා. ඉදිරි පළාත් පාලනය මැතිවරණය කල් දැමීමේ උත්සාහයට එක්සත් ජාතික ජාතික පක්ෂ දැඩි ලෙස විරෝධය දක්වනවා. ඒ නිසා යළි අධිකරණය හමුවට ගොස් ජනතාවගේ පරමාධිපත්‍යය බලය ශක්තිමත් කර ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලෙස මා අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා" යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට කොළඹ මහනගර සභාවේ හිටපු මන්ත්‍රී තරංග අතුරලිය මහතා ඇතුළු හිටපු නාගරික මන්ත්‍රීවරු සහ ප්‍රදේශ වාසීන්,පාසල් දරු දරියන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.