රට තුළ මානව හිමිකම් උල්ලංඝනය වී තිබෙන බවට ජාත්‍යන්තරය කරන චෝදනාවලට තවත් පාර්ලිමේන්තුවක් පත්වන තුරු නොසිට පිළිතුරු ලබා දී ප්රශ්නය අවසන් කර දැමීම වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 දෙනාගේම වගකීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (22දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජිනීවා කොමිෂන් සභා වාර්තාව දෙස දේශපාලන ඇසකින් නොබලා, රට ගැන සිතා යෝජනා කර තිබෙන දෑ ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාම සම්මුතිවාදී ආණ්ඩුවට සහයෝගය ලබාදිය යුතු බවයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ පක්ෂ කිහිපයක නියෝජිතයන් පිරිසක් මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වචන දෙක තුනක් අල්ලාගෙන යෝජනාවට විරුද්ධව රට පුරා විවිධ ප්‍රචාර දියත් කරමින් සිටින බවද අමාත්‍යවරයා කියා සිටියේය.
එහෙත් එම යෝජනාව තුළ කිසිවෙකුටත් දඬුවම් ලබාදීමක් පිළිබඳව යෝජනා වී නොමැති බවත්, යෝජනා වී තිබෙන්නේ යම් වරදක් සිදු වී තිබෙනවා නම් එය නැවත සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීම බවත් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
එම ක්‍රියාවලිය තුළ යුද්ධය නිසා යමෙකු අතුරුදන් වී ඇතත් පවුලේ ඥාතීන්ට ඔහු හෝ ඇය මියගිය බවට මරණ සහතිකයක් හෝ වෙනත් සහතිකයක් ලැබීමට අවස්ථාව ලැබෙන බවත්, ඒ තුළින් රටට කිසිදු අවාසියක් නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.