මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, අතුරුදන් කිරීම, මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට පහරදීම ඇතුළු මාධ්‍යයට එල්ල කරන ලද විවිධ ආකාරයේ බලපෑම් පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි ඉල්ලා ජනාධිපතිවරයාට යොමුකිරීම සඳහා තැපැල්පත්වලට අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද(24දා) පෙරවරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබුණු මෙම වැඩසටහනේදී තැපැල්පතක අත්සන සහ පෞද්ගලික ලිපිනය ප්‍රථමයෙන්ම සටහන් කළේ අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විසිනි.
ඉන් අනතුරුව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඥාති දියණියක වන රයිසා වික්‍රමතුංග, දේශපාලඥයන් වන සිරිතුංග ජයසූරිය, වික්‍රමබාහු කරුණාරත්න, කලාකරු ලූෂන් බුලත්සිංහල ඇතුළු එම අවස්ථාවට පැමිණ සිටි මාධ්‍යවේදීන්, විවිධ වෘත්තිකයෝ තැපැල්පත්වල අත්සන් තැබූහ.
මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ මහතා සඳහන්කළේ ජනාධිපතිවරයා මුණගැසී මාධ්‍යවලට සිදුව ඇති බලපෑම් සම්බන්ධව සාකච්ඡා කිරීමට මීට පෙර අවස්ථාවක් ඉල්ලා සිටියද වසර දෙකක් ගතවන තුරු එම අවස්ථාව ලබා නොදුන් බවයි.
ඝාතනය වූ සහ අතුරුදන් වූ ජනමාධ්‍යවේදීන් උපයෝගී කරගනිමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණි බවත්, 2015 ජනවාරි 08 දිනට පෙර පැවති පාලනය සිහිගන්වමින් යළිත් සටන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමට සිදුව ඇති බවත් පැවසූ රුහුණගේ මහතා යුක්තිය ඉටු වනතුරු උත්සාහය අත්නොහරින බවත් කියා සිටියේය.