හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හෝ මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබානොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අද (18දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. එම තීරණයේ සිට ඉදිරියට කටයුතු කරන ලෙස පසුගියදා පත්කළ කමිටුවට ජනාධිපතිවරයා පැවසූ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපදේශකවරයෙකු බවත්, ඔහුගේ වගකීම පක්ෂය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ක්ර‘මෝපායන් ලබාදීම මිස තැනින් තැන රැස්වීම් පැවැත්වීම නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලබාදුනහොත් මින් ඉදිරියට සෑම ජනාධිපතිවරයෙකුම නැවත මන්ත්‍රීවරයෙකු වීමට සහපාර්ලිමේන්තුවට පැමිණීමට ඉදිරිපත්වනු ඇතැයිද, ඒවා නිවැරදි ක්‍රියා නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා,
"ඕනෑම කෙනෙකුට අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න පුළුවන්. ජනාධිපතිතුමා ඒකට එකඟයි.නමුත් ජනාධිපතිතුමා තීරණය කළේ නවත්වපු තැන ඉඳන් ඉදිරියට සාකච්ඡා කරන්නයි. මහින්ද පාර්ශ්වයේ අය ජනාධිපතිතුමා හමුවෙලා අගමැතිකම ගැන ඇසුවා. ජනාධිපතිතුමා කිව්වා අගමැතිකම මම දෙන්නේ නැහැ කියලා. ඊටපස්සෙ ජාතික ලැයිස්තුවෙන් ඉල්ලුවා. ජාතික ලැයිස්තුවෙන් දෙන්නෙත් නැහැ කිව්වා.ඊටපස්සෙ නාමයෝජනා ඉල්ලුවා, නාමයෝජනා දෙන්නෙත් නැහැ.එතන ඉඳන් ඉදිරියට සාකච්ඡා කරන්න පුළුවන්.
මන්ත්‍රීකමක් වෙලා, ඇමති කෙනෙක් වෙලා විපක්ෂනායක,අගමැති වෙලා ඉඳලා ජනාධිපති වුණට පස්සෙ තව මොනවා දෙන්නද?ඒ නිසා ආපසු ගමනක් නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා යහපාලනය තුළින් ඉදිරියටයි යන්නේ.
ජනාධිපතිතුමා චන්ද්‍රිකා මහත්මියයි,මහින්ද මහත්තයි, හිටපු අගමැතිවරු දෙන්නයි පක්ෂයේ උපදේශක තනතුරට පත්කළා.උපදේශක තනතුරු දීලා කිව්වෙ පක්ෂය ඉදිරියට ගෙනියන්න. ඉදිරි මැතිවරණ ජයගන්න ක්ර‘මෝපාය සියල්ල ලබාදෙන්න කියලා.ඒක නොකර රැස්වීම් තියපුවාම හරිද? ජනාධිපතිකමෙන් ගියාට පස්සෙ හැම ජනාධිපති කෙනෙක්ම පටන්ගනිවී මන්ත්‍රී කෙනෙක් වෙන්න" යනුවෙන් පැවසීය.