මහින්ද දූෂණ කොමිසම හමුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (23දා) පෙරවරුවේ ඔහු බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා ඇත.
බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් කාර්යාලය පිහිටි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවට (BMICH) අද (23දා) පෙරවරු 9.00 ට පැමිණෙන ලෙස කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි එම කොමිෂන් ආරංචි මාර්ග සඳහන් කොට ඇත.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ප්‍රචාරය කිරීමට ගිවිසගෙන තිබූ දැන්වීම්වලට වඩා රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් දැන්වීම් ප්‍රචාරය කර ඇති බවත්, ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසා ස්වාධීන රූපවාහිනියට පාඩු සිදුවීමේ සිද්ධියකට අදාළව කරන පරීක්ෂණ සඳහා ප්‍රකාශ ලබාගැනීමට මහින්ද රාජපක්ෂ මහතා කොමිසම හමුවට කැඳවීමට පියවර ගත් බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ස්වාධීන රූපවාහිනී සේවයේ විගණන අංශය මාර්තු මාසයේදී සිදුකළ අභ්‍යන්තර විගණනයකදී 2014 නොවැම්බර් මස 24 වැනිදා සිට 2015 ජනවාරි මස 05 වැනිදා දක්වා කාලය තුළ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම් පළකිරීමට එම සේවය සමග ගිවිසගෙන තිබූ බවත්, ඒ සඳහා රුපියල් 62,639,600 ක මුදලක් ගෙවා ඇති බවත් හෙළි වී ඇත.
එම දැන්වීම්වලට අමතරව තවත් රුපියල් 101,773,058 ක දැන්වීම් ස්වාධීන රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කර අතැයිද, මෙතෙක් එම මුදල් ගෙවා නැති බවද විගණන පරීක්ෂණයේදී හෙළි වී ඇත.
මෙම සිද්ධියට අමතරව රුපියල් 4,467,812 ක් වටිනා දැන්වීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට ගිවිසගෙන තිබුණද, ඉන් විකාශය කර ඇත්තේ රුපියල් මිලියන දෙකකට ආසන්න දැන්වීම් ප්‍රමාණයක් පමණක් බවද විගණන පරීක්ෂණයේදී හෙළි වී ඇත.
ගිවිසගත් පරිදි දැන්වීම් ප්‍රචාරය නොකිරීම නිසා රුපියල් මිලියන දෙකකට අධික මුදලක් ආපසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට සිදුව ඇති බව පෙන්වා දෙන එම විගණන වාර්තාව, එලෙස ආපසු මුදල් ගෙවීමට සිදුවීම මගින්ද ස්වාධීන රූපවාහිනියට පාඩු සිදු වී ඇතැයි පෙන්වා දී ඇත.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීමක් ප්‍රචාරය කිරීමේදී අය කළ මුදල සමග සැසඳීමේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැන්වීමක් ප්‍රචාරය කිරීමේදී එමෙන් දෙගුණයක මුදලක් අය කොට ඇතැයිද එම විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම සිද්ධීන් පිළිබඳව කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව එහි විමර්ශන නිලධාරීන් විසින් විමර්ශනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවනු ලැබ සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

