මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා නැවතත් ජයග්‍රහණය නොකරන බවත්, ඔහුද ඇතුලුව සියලු හොරුන් ඇල්ලීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
කුරුණෑගල, කුලියාපිටිය නගර සභා ශාලාවේ පැවති කුලියාපිටිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය රැස්වීමේ දී ඔහු මේ අදහස් ඊයේ (24දා) ප්‍රකාශ කළේය.
"බලයට පත් වී පැය 24ක් ගතවීමට පෙර අප මේ රටේ ප්රජාතන්ත්රවාදය යළි තහවුරු කළා. රටේ අග්‍රාමාත්‍යවරයා වන මට කවුරුන් හෝ මහ පාරේ බැණ වැදුණා කියා ඔහු සුදු වෑන් මගින් පැහැර ගැනෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේදීත් මට කුණුහරුපයෙන් බණිනවා නම් කවුරුන් හෝ මහ මග බැන වැදීම ලොකු ප්‍රශ්නයක්ද? නමුත් අපි ඒ පරණ දේශපාලනය සමඟ වේලුණු වට්ටක්කා ගෙඩි සියල්ල ඉවත දැමිය යුතුයි.
ඕනෑම යටමක් ලිවිමටද ඕනෑම යමක් කියා සිටීමටද ඕනෑම අදහසක් සහ යෝජනාවක් ඉදිරිපත් කිරිමටද ඕනෑම අයෙකුට නව රජය යටතේ නිදහස ලැබී තිබෙනවා. ඊට හොඳම උදාහරණය රූපවාහිණි සහ පුවත්පත් මගින් හිටපු ජනාධිපතිවරයාට හැමදාම විශාල ප්‍රචාරයක් ලබාදීමයි. හැමදාම පන්සල් යන එතුමා මල් පහන් පුජා කරනවා. එතුමාගේ ආණ්ඩුව යටතේ හොරකම් සිදුව තිබෙන බව එතුමාම වරක් කියා සිටියා. එතුමා එක්කම ඒ සියලු හොරුන් ඇල්ලිමට අප මේ වන විට ක්‍රියාකරමින් සිටිනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අලුත් මාර්ගයක් පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ අය එතුමාගේ ස්ථාවරයේ සිටිනු ඇතැයි අප බලාපොරොත්තු වුණත් සමහරුන් එතුමාගේ කකුලෙන් අදිනවා.
මේ අය රටට – ජනතාවට ලබා දෙන විකල්පය කුමක්ද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා හොඳ විකල්පයක් ලබා දීමට ඒ අයට පුලුවන්ද? යළිත් වතාවක් මැදමුලන කුණු කාණුවේ වැටීමට අපට අවශ්‍ය නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිසිසේත් යළි ජයග්‍රහණය කරන්නේ නැහැ." යැයි ඔහු පැවැසීය.