නොවැම්බර් 27 වැනිදාට යෙදෙන මහවිරු දින සැමරුම වෙනුවෙන් උතුරේ මහවිරු සොහොන් ආශ්‍රිතව දෙමළ තරුණ තරුණියන් විවිධ සැරසිළි සිදුකරමින් මහවිරු දින සැමරීමට සූදානම් වන අයුරු දැකගැනීමට හැකි විය.
මේ අතර මුලතිව්, විශ්වමඩු, තේරාවිල් මහවිරු සුසාන භූමියද හෙට දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුමට සැරසිලි සිදු කරන අතර තේරාවිල් පිවිසුම් දොරටුවේ නිර්මාණය කර ඇති තොරණ විශේෂත්වයක් උසුලන අතර, තොරණේ යොදා ඇත්තේ ජාතික මහවිරු දිනය යනුවෙන් මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිත කරන ලද ජාතික පුෂ්පය වූ නියගලා මලය යොදාගනිමිනි.
උතුරු පළාත් ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත අතර, ඊට අමතරව යාපනය, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි පිහිටි මහවිරු සොහොන් ආශ්‍රිතවද මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නියමිතව ඇත.
උතුරු පළාත් ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, කනගපුරම් මහවිරු වැඩසටහන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා විසින් පැවැත්වීමට නියමිත බවද කිලිනොච්චිය ප්‍රදේශවාසීහු පැවසූහ.
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම වෙනුවෙන් කිසිවෙකුගෙන් අවසරය ලබාගැනීම අවශ්‍ය නොවන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා මීට පෙර මාධ්‍යටද ප්‍රකාශ කර තිබිණ.
කොටි සංවිධානයේ කර්නල්වරයෙකු වූ ශංකර් නැමත්තා 1982 වසරේ නොවැම්බර් 27 වැනිදා මිය යාමෙන් පසුව එවක පටන් කොටි සංවිධානය නොවැම්බර් 27 වැනිදා මහවිරු දිනය නමින් නම් කරනු ලැබීය.