ශ්‍රී ලංකා මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එළඹෙන 31 වැනිදාට වසර 21ක් පිරුණද, එයින් විපතට පත්වූවන්ට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට එදා සිට අද දක්වාම සිටි ආණ්ඩු අපොහොසත් වී ඇතැයි මහ බැංකු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හා ආබාධිත වූවන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති එල්.ඩී.එල්.ඒ. ගුණවර්ධන මහතා පැවසුවේ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දියක් ගෙවීම පමණක් සිදුවූ බවයි. ආබාධිත පුද්ගලයන් විශ්‍රාම ගැන්වීමේදී අවුරුදු 55 වයස් සීමාව යොදාගනිමින් විශ්‍රාම ගන්වන බවට එකල පැවසුවද, අවසානයේ සිදුවූයේ අත්සන් කළ දින සිට විශ්‍රාම ගැන්වීම බවදඒ මහතා පැවසීය.
බෝම්බ ප්‍රහාරය එල්ල වනවිට මහ බැංකුවේ අධිපති ලෙස සිටි ඒ.එස්. ජයවර්ධන මහතා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ දුවා දරුවන්ට මහ බැංකුවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වුවද, මේ දක්වාම එම පොරොන්දුව ඉටුව නැතැයිද ඔහු කීය.
මේ පිළිබඳ සෑම මහ බැංකු අධිපතිවරයෙකු සමගම කළ සාකච්ඡාවලදී රැකියා ලබාදෙන බවට පොරොන්දු වුවත්, එසේ රැකියා ලබාදීමක් මේ දක්වාම සිදු නොවූ බවද සභාපතිවරයා සඳහන් කළේය.
මහ බැංකුවේ සිටින නියෝජ්‍ය අධිපතිවරයෙකු පළිගැනීමේ චේතනාවෙන් විපතට පත්වූවන්ගේ දරුවන්ට රැකියා ලබාදීමට විරෝධය දක්වන බවත්, වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සමග පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති හමුවද සාකච්ඡාවට පමණක් සීමා වී ඇති බවත් ඔහු සඳහන් කරයි.
මහ බැංකු බෝම්බ ප්‍රහාරය සැමරීමට සෑම වසරකම ජනවාරි 31 වැනිදා සැමරුම් උත්සවයක් පැවැත්වීමට විශාල මුදලක් වියදම් කරන බවත්, මෙම ගැටලුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ මැදිහත්ව විසඳුමක් ලබාදෙන ලෙසත් සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියි.