ශ්රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ලට එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් බෝම්බ ප්රහාරයක් එල්ල කර වසර 18ක් සපිරෙන, ඒ අඳුරු මතකය අවදි කරන අනුස්මරණ උත්සවයක් ඊයේ (31දා) මහ බැංකු පරිශ්රය අසලදී පැවැත්විණි.
එම අවස්ථාව එදා මහ බැංකු බෝම්බයට බිලිවී ජීවිත අහිමි වූවන්ගේ ඥාතීන් සහ ප්රහාරයෙන් ආබාධිත වූවන්ගේ ප්රධානත්වයෙන් පැවති අනුස්මරණ උත්සවයක් වූ අතර, ශ්රී ලංකා මහ බැංකුව විසින් එය සංවිධානය කරන ලදී.
කෙසේ වෙතත්, මහ බැංකු පරිශ්රය අසල මෙම උත්සවය පැවැත්වෙන අතරතුර කොළඹ දිස්ත්රික්කය නියෝජනය කරමින් 2010 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත්, ආණ්ඩු පක්ෂයේ එක්තරා තරුණ මන්ත්රීවරයෙකු තවත් විශාල පිරිසක් සමග උත්සවය පැවති ස්ථානයට පැමිණ තිබේ.
එසේ පැමිණි පිරිස කිසිදු වගවිභාගයකින් තොරව උත්සවයේ ඉදිරියටම යෑම නිසා එම අනුස්මරණ උත්සවයේ ප්රධානත්වය ලබා සිටි, ආබාධිත වූවන් සහ මිය ගිය අයගේ ඥාතීන්ට පසුපසට තල්ලු වන්නට සිදුවී ඇති බව පැවසේ.
මේ සිදුවීමත් සමග මහ බැංකු බෝම්බ ප්රහාරයෙන් ආබාධිත වූවන් සහ මියගිය අයගේ ඥාතීන් මහත් අපහසුතාවකට පත්ව ඇති අතර, දේශපාලඥයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් තමන්ගේ ශෝකය බෙදාගන්නා අනුස්මරණ උත්සවයක ප්රධානත්වය ගැනීම සම්බන්ධයෙන් ඔවුන් සිය අප්රසාදය පළ කර තිබේ.
වර්ෂ 1996 දී, එනම් මීට වසර 18කට පෙර ගෙවීගිය ජනවාරි 31 වැනිදා ශ්රී ලංකා මහ බැංකුවට එල්ල වූ මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. ත්රස්ත ප්රහාරය හේතුවෙන් 91 දෙනෙකුට තම ජීවිතය අහිමි වූ අතර, තවත් 1,200කට පමණ තුවාල සිදුවිය.