මවක් ගිලන් රථයෙන් ඇදවැටෙයි
තංගල්ල රෝහලේදී දරු ප්‍රසූතිය සිදුකළ මවක වැඩිදුර ප්‍රතිකාර සඳහා අද (04දා) ගිලන් රථයෙන් රැගෙන යමින් සිටියදී එම ගිලන් රථය මාතර ගොඩගම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේ ගිලන් රථයේ පිටුපස දොර විවෘත වී එම මව ගිලන් රථයෙන් ඇද වැටී ඇතැයි තංගල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී ඉරංගා යද්දෙහිගේ මහත්මිය පැවසුවාය.
එම මවගේ තත්ත්වය බරපතළ නොවන අතර, අනතුර සිදුවන අවස්ථාවේ ගිලන් රථය තුළ තවත් රෝගීන් කිහිපදෙනෙකු සිටියද ඔවුන්ටද කිසිදු තුවාලයක් සිදුව නොමැත.අනතුර සිදුවීමෙන් අනතුරුව රෝගී මව ගිලන් රථයට ක්ෂණිකව පටවාගත් එහි කාර්යමණ්ඩලය කොළඹ දෙසට ගමන් කළ බව අධිවේගී කාර්යමණ්ඩලය පැවසීය.
අනතුරට පත් මව හා අනෙක් රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමුකිරීම සඳහා රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ ගිලන් රථය තුළ සිටි රෝගීන් ප්‍රමාණය හා කාර්යමණ්ඩලය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පැවසූ වෛද්‍ය අධිකාරිවරිය, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කළ බවද පවසා සිටියාය.
අනතුරට ලක්වූ මව ගාල්ල කරාපිටිය රෝහලේදී අද (04දා) සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව නැවත තංගල්ල මූලික රෝහල කරා රැගෙන ඒමට නියමිත බවත්, එම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු අරඹා ඇති බවත් වෛද්‍ය අධිකාරිවරිය පැවසුවාය.
බිමල් ශ්‍යාමන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
