වත්මන් ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වන ගායකයන්, රංගන ශීල්පින් ඇතුළු සියලු කලාකරුවන්ට එරෙහි දැඩි නීතියක් දියත් කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ලේක්හවුස් ආයතනය, රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය කටයුතු කර ඇතැයි මධුමාදව අරවින්ද මහතා අද (13දා) පැවසීය.
වත්මන් රජයට විරුද්ධව අදහස් පළකළ නළුවෙකු හෝ නිළියක රඟපා ඇති ටෙලිනාට්‍ය රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රුපවාහිනිය මිලදී නොගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
පසුගිය කාලයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි පොළොන්නරුවේ කලාකරුවෙකුට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයන් කතාකර දැඩි මානසික පීඩනයට පත්කළ බවත්, එම පීඩනයන් දරාගැනීමට අපහසු බැවින් ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැත්තට ගිය බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ඕෂධී හේවාමද්දුම සිටින ටෙලිනාට්‍ය රජයේ රූපවාහිනී ආයතන අනුමත නොකරන තත්ත්වයක් තිබෙන බවට ඇය හැඬූ කඳුළින් තමා සමග ප්‍රකාශ කළ බවද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මධුමාදව අරවින්ද මහතා පවසා සිටියේය.
වර්තමානයේදී රජයට විරුද්ධව අදහස් පළකරන සියලු දෙනා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් වාහන බලපත්‍ර ලබාගත් බවත්, තමන් එවැනි වරප්‍රසාද නොගත් බවද ඔහු කියා සිටියේය.
පසුගිය ආණ්ඩුව සමයේදී කලාකරුවන්ට එවැනි වරප්‍රසාද ලබාදී ඇත්තේ ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව මිස මහින්ද රාජපක්ෂවාදියෙකු යන කරුණ නිසා නොවන බවත්, එම කලාකරුවා කෙතරම් කාලයක් කලාවේ නිරතවී සිටියේද, ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකුද යන්න පමණක් එහිදී සලකා බැලූ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.