මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙනා පිරිස් පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සිදුකළ සමීක්ෂණයට අනුව හෙළි වී ඇති සියලුම පුද්ගලයන්ගේ නම් ගම් සහ තනතුරු සහිත විස්තරය ඉදිරි දින කිහිපය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදෙන බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සඳහන් කළේය.
මෙම සමීක්ෂණයෙන් හෙළි කරගත් කරුණු සමාජයට හෙළිවීම වළක්වා ගැනීමට තමාට විවිධ පුද්ගලයන් මැර තර්ජන එළ්ල කළ බවත්, මේ අනුව ආරක්ෂාව සහතික කරන ලෙසට ආණ්ඩුවෙන් සිදුකළ ඉල්ලීමට අනුව ඊයේ (27දා) සිට තමාගේ ආරක්ෂාවට පැය 24 පුරා ආරක්ෂකයන් යොදවා තිබෙන බවද පවසා සිටියේය.
හෙළිකර ගත් තොරතුරුවලට අනුව අදාළ පිරිස් වරදකරුවන් වන තෙක් නම් ගම් සහ තනතුරු හෙළිකිරීමට සභාපතිවරයා වශයෙන් තමාට බලයක් නොමැති බවත්, මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී තිබෙනා නීතිමය ප්‍රතිපාදන මත එම පිරිස්වල නම් ගම් තනතුරු හෙළිකරන ලෙසට ඉල්ලා ලිපියක් යැවූ බවද සභාපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව අදාළ තොරතුරු පිළිබඳව වාර්තාව ලබාදීමටත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් දිනයක් ඉල්ලා සිටි බවත්, ඔහු පවසා සිටියේය.
සිදුකළ සමීක්ෂණයට අනුව මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන ප්‍රා‘දේශීය දේශපාලඥයන්ගේ සිට ප්‍රධාන පෙළේ දේශපාලඥයන් කිහිපදෙනෙකු ඇතුළුව සියයකට අධික ප්රමාණයකගේ තොරතුරු හෙළිකර ගෙන තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අනුව මෙම පුද්ගලයන්ගේ නම් ගම් තනතුරු හෙළිකිරීමට අමතරව ඔවුන් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද වෛද්‍ය නිලංග සමරසිංහ මහතා කියා සිටියේය.