"මා අල්ලස් ගත් බවටත්, රාජ්‍ය මුදල් වංචා කළ බවටත් චෝදනා ආවා. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පිළිබඳ අල්ලස් චෝදනාවක් මට පාර්ලිමේන්තුවේදී පවා ආවා. මගේ දෑත් පිරිසුදුයි. මා කිසිදිනක අල්ලස් හෝ දූෂණ වංචා කළේ නැහැ" යැයි හිටපු අමාත්‍ය, පා.ම පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවසීය.
ඇය මේ බව පැවසුවේ ඊයේ (20දා) කලවානේදී පැවති පාක්ෂිකයන්ගේ සුහද හමුවක් අමතමිනි.
"අද රටේ අර්බුදකාරී දේශපාලන තත්ත්වයක් උදාවෙලා. සංවර්ධනය ඇණහිටලා. මිනිසුන්ට මුදල් නැහැ. තේ රබර් ආර්ථිකය බිඳ වැටිලා. සුළුතර පක්ෂයක් රාජ්‍ය පාලනය මෙහෙයවනවා. මට යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් බාරගන්න කීවා. එය අපේ පක්ෂයේ නිල තීන්දුවක් වුණා. ඒ අනුව මා එය බාරගත්තා. ජනතාව හිතුවා මම යූ.ඇන්.පීයට ගියා කියලා. මම එහෙම පක්ෂය මාරු කළේ නැහැ. කරන්නෙත් නැහැ.
සති දෙකක් යනතුරු දිවුරුම් දුන්නෙත් නැහැ. අන්තිමේ ජනමතයට ගරු කරමින් මා ඉල්ලා අස්වුණා. කවුරු මොනවා කිව්වත් මහින්ද රාජපක්ෂ මහතා වටා අද විශාල ජන රැල්ලක් ගොඩනැගෙමින් පවතිනවා. විශ්‍රාම ගන්න ගිය මහින්ද මහතාට දේශපාලනයට එන්න කියන්නේ මේ රටේ පනස් අටලක්ෂයක ජනතාව" යැයි පවසා සිටියාය.
කලවාන - ආර්.ඒ. පියසේන