කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් තාවකාලිකව ඉවත් කළ කුරුණෑගල නගරය ආසන්නයේ තිබූ රණවිරු ස්මාරකය පෙරට වඩා අලංකාරවත් සහ නිර්මාණශීලි ලෙස නැවත එම ස්ථානයේම ඉතා කඩිනමින් ඉදිකිරීමට තමා ආරක්ෂක ලේකම්වරයාට සහ යුද හමුදාව වෙත උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
රණවිරු ස්මාරකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කර තිබෙන බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වැරදි තොරතුරු සමාජයට ලබාදෙමින් ජනතාව නොමග යැවීමට කරන උත්සාහයන් තමා දැඩිව ප්‍රතික්ෂේප කරන බව ද කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කරනලද්දේ, අද (31) කුරුණෑගල, හිරියාල මී ගහ ඇළ ක්‍රීඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට එක්වෙමිනි.