චීනයේ සිට මෙරටට වැඩම්ම වූ කිරි ගරුඬින් නිම වූ බෝධිසත්ව පිළිම වහන්සේලා හා බුද්ධ ප්‍රතිමා වහන්සේලා විසි නමක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි විහාරස්ථානයන් වෙත බෙදා දීමේ පුණ්‍ය උත්සවය මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ශ්රාස්ත්රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වලවාහැංගුණ වැව ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු නායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (17දා) දහවල් සිදුකෙරුණි.
මෙම පිළිම වහන්සේලා බෙදා දීමේ පුණ්‍ය උත්සවය පසුගිය වෙසක් මස (29) වැනිදා සිදුකිරීමට නියමිතව තිබුණද ඒවා සඳහා රුපියල් ලක්ෂ 32ක බදු මුදලක් ගෙවීමට සිදුවීම නිසා උත්සවය ප්‍රමාද කිරීමට සංවිධායකයන්ට සිදුවිය.
කිලෝ ග්‍රෑම් 1500ක් බරින් යුතු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු බෝධිසත්ව පිළිම වහන්සේලා, බුද්ධ ප්‍රතිමා වහන්සේලා විසි නමක් හා තුන් සූත්‍රය සහිත අධිතාක්ෂණික උපකරණ පූජා කිරීමත් මෙහිදී සිදුකෙරුණි.
මේ පිළිබඳව අනුශාසනාවක් කළ පූජ්‍ය වලවාහැංගුණවැව ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ මෙසේ දේශනා කළහ.
“මෙම උත්සවය පවත්වන්න සංවිධානය කරලා තිබුණේ පසුගිය වෙසක් පොහොය පැවති 29 වැනිදා. නමුත් රුපියල් ලක්ෂ32ක රේගු බදු ගෙවීමට සිදුවීම නිසා එය මුදා ගැනීමට අපහසු වුණා. මෙම පුවත මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග සමස්ත ලෝකවාසී බෞද්ධයන්ට පමණක් නෙමෙයි බෞද්ධ නොවන ජනතාවටත් මහා කම්පන තරංගයක් නිකුත් වුණා.
මේ පුවත අන්තර් ජාලයෙන් කොරියාව, ජපානය, චීනය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල්වලටත් ගියා. එහි සිටින බෞද්ධයන් මට දුරකථනයෙන් ඊමේල් පණිවිඩවලින් මුදල් දෙන්න කතා කළා. මගේ බැංකු ගිණුම් අංක ඉල්ලුවා. මට දෙන්න එහෙම ඒවා නෑ. මම කිවුවා කලබල වෙන්න එපා රටේ නායකයන් මොනවා හරි කරේ නැත්නම් අපි මුදල් එකතු කරමු කියලා. සීදුවේ කතෝලික තරුණයෙකු විහාරස්ථානයට ඇවිල්ලා සියලු මුදල් දෙන්න පෙරොන්දු වුණා.
මාධ්‍ය මගින් කළ අනාවරණය සමග ශ්‍රී ලංකා රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, කථානායක කරු ජයසූරිය මහතා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, වජිර අබේවර්ධන මහතා, ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු කිහිප දෙනෙක්ම ඊට හුඟක් උදවු කළා.”