අවබෝධයට පත්වීමේ පුණ්‍ය භූමිය ලෙස බුද්ධගයාව හඳුන්වමින් ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනගරය ලෙස බුද්ධගයාව සංවර්ධනය කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
ඒ අනුව, බුද්ධගයාව ඉන්දියාව හා බෞද්ධ ලෝකය අතර ශිෂ්ටාචාරාත්මක සබැඳියාවකින් සිය මෙහෙවර ඉටුකරනු ඇති බව අගමැතිවරයා වැඩිදුරටත් පවසයි.
පසුගිය 05 වැනිදා බුද්ධගයා විහාරය වැඳපුදාගත් ඉන්දීය අගමැතිවරයා මෙසේ පවසා සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ලොව පුරා විසිරී සිටින බෞද්ධයන්ගේ අතිශය ගෞරවාදරයට පත්වූ, ඔවුන් වන්දනාවට පැමිණෙන ස්ථානයක් ලෙස බුද්ධගයාව තමන් හඳුනාගෙන ඇති බවද අගමැතිවරයා පවසයි.
බුදුරජාණන් වහන්සේ යනු ඉන්දීය ඔටුන්නේ මිණි කිරුළ බවද මෙම අවස්ථාවේදී මෝදි අගමැතිවරයා පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
