ලයන් බියර් නිෂ්පාදනය සිදුකරන බියගම පිහිටි M/s ලයන් බෘවරි සමාගම වෙත බියර් ආනයනය කිරීම සඳහා 100%ක බදු සහන ලබාදීමක් හරහා රජයට රුපියල් බිලියන 6ක පාඩුවක් සිදුව ඇතැයි පැවසෙන වාර්තා සත්‍යයෙන් තොර බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන ආකාරයට, පසුගිය මැයි මාසයේදී හට ගත් අධික වර්ෂාවත් සමගම බලපෑ ගංවතුර හේතුවෙන් එම සමාගමේ කර්මාන්තශාලාවට සහ එහි බියර් නිෂ්පාදන යන්ත්‍රවලට දැඩි හානි සිදු විය. ඒ අනුව රජයට වාර්ෂිකව රුපියල් බිලියන 25කට අධික සුරාබදු වටිනාකමක් සහ වෙනත් බදු ගෙවීම් සිදුකරන සමාගමක් ලෙස ඔවුන් මාස තුනක කාලයක් සඳහා තමන් වෙත යම් බදු සහනයක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ.
එහිදී මූලිකවම නව කර්මාන්තශාලා පරිශ්‍රයක් ඉදිකර එහි අලුතින් යන්ත්‍ර පිහිටුවා සිය නිෂ්පාදන කටයුතු යළිත් යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා ඔවුන් එම කාලසීමාව ඉල්ලා ඇත.
මුදල් අමාත්‍යාංශය පවසන ආකාරයට සිය නිෂ්පාදන කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම විනාශවීමත් සමගම ඔවුන් වෙත දේශීයව බියර් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නොමැති වූ අතර, වෙනත් රටකින් බියර් ආනයනය කර මෙරට වෙළෙඳ පොළ තුළ ඇති වර්තමාන මිල ගණන් යටතේ අලෙවි කිරීමත් සාර්ථක අවස්ථාවක් නොවුණි. එහිදී වෙළෙඳ පොළ මිලට වඩා ආනයනය බදු ඉහළ යාම හේතු විය. ඒ අනුව මාස තුනක කාලයක් සඳහා වන බියර් අවශ්‍යතාවට අනුව එම නිෂ්පාදන ආනයනය කිරීම වෙනුවෙන් එම සමාගම මෙලෙස සුරාබදු සහ අනෙකුත් බදු සම්බන්ධ සහනයක් මහා භාණ්ඩාගාරය වෙතින් ඉල්ලා තිබේ.
ඒ අනුව මේ කරුණු සියල්ලම සලකා බලා රජය විසින් වෙළෙඳ පොළ අගය හා සමාන වන ලෙස බියර් ආනයනය කිරීම සඳහා එම සමාගම වෙත මාස තුනකට අවසර ලබාදී තිබේ. මේ තත්ත්වයත් සමගම බියර් ආනයනය සඳහා එම සමාගම වෙත සහන ලබාදීමත් සමගම රජය වෙත ආදායම් අහිමිවී ගොස් ඇතැයි පැවසෙන වාර්තා සත්‍යයෙන් තොර වන බවත් මුදල් අමාත්‍යාංශය යළිත් පවසා සිටියි.