පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ වහලයේ අළුත්වැඩියාවක් සිදුකරමින් සිටි එම විද්‍යාලයේම අධ්‍යාපනය ලබන දරුවකුගේ පියෙකු තෙවැනි මහලින් බිමට ඇදවැටී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වලහන්දූව පූන කන්ද පදිංචි 39 හැවිරිදි දිනේෂ් ලක්මාල් අඹගහවත්ත නැමැති එක්දරු පියෙකි.
පසුගිය 09 වෙනිදා සවස සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ මොහු ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී පසුගිය 10 වනදා මියගොස් තිබේ. දේහය සම්බන්ද මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේදී පසුගිය 11වනදා සිදුකෙරින.
එහිදී රෝහලේ මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා ඉදිරියේ සාක්ෂි දෙමින්, මියගිය අය සමග එම ස්ථානයේ වැඩ කරමින් සිටි උණවටුන, මැටරැඹ ප්‍රදේශයේ පදිංචි තොටගමුව හේවගේ විරප්රිය සූපතිසේන යන අය මෙසේ පැවසීය,
“මියගොස් ඇත්තේ මගේ ඥාති වන මල්ලී කෙනෙක්, අපි ඔහුට කියන්නේ බාසුරු මල්ලී කියලයි. ඔහු ප්‍රින්ටින් වැඩ කරන්නේ, මමත් ඔහුගේ වැඩවලට උදව් වෙන්න යනවා. පසුගිය 09 වෙනිදා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ශාලාවක වහලේ අළුත්වැඩියාවක් කරන්න තියෙනවා කියලා කියලා බාසුරු මල්ලී මටත් එන්න කිව්වා. කන්නංගර ශාලාවේ තෙවැනි මහලේ වහලේ ශීට් වලට යටින් ගහපු මැක් ෆොයිල් වල දිරපුවා කපලා අස්කරන්න තමයි තිබුණේ. අපි ඒ වැඩේට ගියේ එදා හවස.
බාසුරු මල්ලිගේ පුතා රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙන ගන්න නිසා පාසලට උදව්වක් විධියට තමයි ඒ වැඩේ කළේ. ඊට කලිනුත් මම ඔහුත් එක්ක පාසලේ මේ වගේ වැඩ කරලා කියෙනවා. ශාලාවේ උඩම තට්ටුවේ ඇතුල් පැත්තෙන් ඉනිමග වහලට තියලා ඉනිමගට නැගලා තමයි අපි වැඩ කලේ. මෙහි කොට බිත්ති තමයි තියෙන්නේ. මුලින් මම වැඩ කළා. බාසුරු මල්ලී ඉනිමග අල්ලගෙන හිටියා. ඉතිරි වෙලා තිබුණේ අමාරු කොටසක්. ඒක ඉනිමගේ නැගලා ඇදිලා තමයි කරන්න ඕන. මේක ටිකක් අනතුරුදායක නිසා මම කිව්වා වැඩේ අතෑරලා දාලා යමු කියලා. ඒත් බාසුරු මල්ලි කිව්වා එයා ඒ ටික ඉවර කරන්නම් කියලා.
එයා ඉනිමගට නැගලා වහලේ බාර් එකක් අල්ලගෙන දිරච්ච කෑලි කපලා අයින් කළා. මම ඉනිමග අල්ලගෙන හිටියා. කපලා ඉවර වෙලා බහින්න ලේස්ති වෙනකොට බැලන්ස් එක නැතිවෙලා වගේ ඔහු ඇද වැටුණා. ඔහු වැටුනේ ශාලාවේ එළිය පැත්තට. ඒ පැත්ත අඩි 25ක් 30ක් විතර තියෙනවා පොළවට. මම පහලට පැහැලා ඔහු වැටී සිටිය තැනට දුවලා ගියා. ඉක්මනට වාහනයක් කථාකරගෙන ඔහුව රෝහලට අරගෙන ගියා. ඔහු කථා කළේ නැහැ. කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කළා. ඊයේ (10) සවස ඔහු මියගිය බව දැනගත්තා.”
මියගිය අයගේ බිරිඳ වන ජනනි අපේක්ෂා කුලසිංහ යන අය සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවසීය,
“මියගොස් සිටින්නේ මගේ සැමියා. අපට ඉන්නේ එක පුතෙක් විතරයි. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගන ගන්නවා. පසුගිය 09 වෙනිදා සැමියා පුතාගේ පාසලට යනවා කියලා ගෙදරින් පිටත් වුණා. පාසලේ අලුත්වැඩියාවක් තියෙනවා කියලා ඥාති අයියා කෙනෙක් එක්ක යනවා කිව්වා.
පුතාව සවස 2.00ට ක්‍රිකට් පුහුණුවීම් වලට දාලා ඒ වැඩේට යනවා කිව්වා. සවස තුනට විතර සැමියාගේ යාළුවෙක් කථා කරලා කිව්වා සැමියාට අනතුරක් වෙලා රෝහලට ගෙනගියා කියලා. මම කරාපිටිය රෝහලට යනවිට සැමියා දැඩි සත්කාර ඒකකයේ හිටියේ, ඔහුට සිහිය තිබුනේ නැහැ. එදාම රාත්‍රී ඔහුගේ උදරයේ ශළ්‍යකර්මයක් කළා. වෛද්‍යවරු කිව්වා ඔහුගේ තත්ත්වය බරපතලයි කියලා. ඊයේ (10) සවස තුනට විතර මා රෝහලේ සිටියදීම දැනගත්තා සැමියා මියගොස් ඇති බව.”
පශ්චාද් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරී මධුවන්ති ජයසිංහ මහත්මිය විසින් සිදුකළ අතර එම වාර්තාව, නිරීක්ෂන සහ සාක්ෂි අනුව, උසකින් වැටීම හේතුවෙන් පපුවට සහ උදරයට සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇතැයි මරණ පරීක්ෂක ලොකුගේ මහතා තීරණය කලේය. ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ශිරංගිකා ලොකුකරවිට

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

