මහබැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එකිනෙකාට චෝදනාකර ගැනීම පමණක් සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
නාරාහේන්පිට අභයාරාමයේ අද (25දා) පැවැති ආගමික උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී හෙතෙම පවසා සිටියේ, 'ගමේ භාෂාවෙන්ම කියනවානම් බැඳුම්කර විවාදයේදී දෙගොල්ලොන්ම නාගත්තා' යනුවෙනි.
එසේම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සෙවීමට විශේෂ ජනපති කොමිසමක් පත්කළේ ශ්‍රී ලංකාවේ ඉහළම නීතිවේදීන්ගේ උපදෙස් ලබාගෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
ගණිකා වෘත්තිය මෙන්ම සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා ප්‍රතික්ෂේප කළේ තමන් බවත්, එවැනි බෝහේ දෑ තමන්ට පැවසිය හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
'අර්ජුන් මහේන්ද්‍රන් එළියට දැම්මේ මම. මහබැංකු අධිපති ලෙස ලෝකය පිළිගන්නා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කළේ මමයි. විගණකාධිපති පත්කළේ මමයි. මම මගේ වැඩේ හරියට කරනවා. ආණ්ඩු පක්ෂයේ හෝ වේවා විපක්ෂයේ හෝ වේවා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා' යැයි ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.