ස්කොට්ලන්ත පොලිස් පුහුණු විද්‍යාලයේදී ලංකාවේ පොලිස් නිලධාරීන්ට ලබාදෙන පුහුණුව වහාම නවත්වන ලෙස විශාල බලපෑමක් කිරීමට බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදීන් හා ඔවුන්ට සහාය දක්වන කණ්ඩායම් මේ වන විට සමත් වී ඇත. ශ්‍රී ලංකා පොලීසිය සහ හමුදාව අඛණ්ඩවම මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කරන ඔවුන් පවසන්නේ දෙමළ ජනතාවට එරෙහිව ගෙන යන ජිවිත සංහාරය හා විවිධාකාර වූ පීඩාකාරී ක්‍රියා මෙම බලපෑම් කිරීමට මුලික හේතුව බවයි. ශ්‍රී ලංකා විරෝධී මෙම කටයුත්තට ඔවුනට ස්කොට්ලන්ත ජාතිකයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇත.
හෙරල්ඩ් ස්කොට්ලන්ඩ් පුවත්පත වාර්තා කරන ආකාරයට 2007 සිට මේ දක්වා ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් 3500 පමණ ස්කොට්ලන්ත පොලිස් පුහුණු විද්‍යාලයෙන් පුහුණුව ලබා ඇත. ස්කොට්ලන්ත රජයේ අනුග්‍රහයෙන් පැවති පුහුණුව පසුගිය මාර්තුවේ අවසන් වූ බවත් පොදුවේ පොලිස් සේවයේ කාර්යක්ෂමතාව වර්ධනය උදෙසා බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයේ අරමුදලින් ගෙන යන පාඨමාලාව 2015 අවසන් වන බැවින් එතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බව පොලිස් පුහුණු විද්‍යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කලේය.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට