මෝටර් වාහන පනතට අනුව දුරකථනයක් භාවිත කරමින් රිය පැදවීම වරදක් වන අතරම, දුරකථනයට හෝ වෙනත් උපකරණයකට සම්බන්ධ කර තිබෙන බ්ලූටූත් උපකරණ හෑන්ඩ් ෆ්‍රී උපකරණ භාවිත කරමින් රියපැදවීමද වරදක් වන බැවින් එවැනි රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
බ්ලූටූත් උපකරණ හෝ හෑන්ඩ් ෆ්‍රී උපකරණ භාවිත කරමින් රිය පදවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී දඩ පත්‍රිකාවක් ලබාදිය නොහැකි බවත්, මේ නිසා එවැනි රියදුරන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
නිල ඇඳුමින් සැරසී සිටිනා ලංකාවේ ඕනෑම පොලිස් නිලධාරියෙකුට රථවාහන නීතියට අදාළව කටයුතු කළ හැකි බවත්, රථවාහන නීතිය ක්‍රියාත්මක කිරීමට රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටිය යුතු බවට වැරදි මතයක් සමාජගත වී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
සාමාන්‍ය පොලිස් නිලධාරියෙකු රථවාහන නීතිය ක්‍රියාත්මක කිරීමේදී රියදුරු බලපත්‍රය ලබාගත් පසු නිකුත් කළයුතු තාවකාලික රියපැදවීමේ බලපත්‍රය නිකුත් කිරීමට අවශ්‍ය පත්‍රිකා නොමැති වුවහොත් අදාළ වරද පිළිබඳව රියදුරු දැනුවත් කර අධිකරණයට කරුණු වාර්තා කර නඩු පැවරීමේ බලය තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.