බස්නාහිර පළාතේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා සහ රෝගීන් භාවිත කරන රෙදි නවීන තාක්ෂණය ඔස්සේ විෂබීජ විනාශ කරමින් පිරිසුදු කිරීම සඳහා පසුගියදා ආරම්භ කරන ලද ව්‍යාපෘතිය, යෝජිත එට්කා ගිවිසුමට කිසිසේත්ම අදාළ නොවන බවත්, ඒ අනුව මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ස්ථාපිත, ක්‍රියාකාරී හා නැවත බාරදීම යන ත්‍රිත්වයට අයත් මෙම ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 7.5ක ආයෝජනයක් වන අතර, ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් ව්‍යාපෘතිය සඳහා වැය නොවන බවයි.
ඒ අනුව මේ යටතේ වසර 03ක කාලයක් එකම මිල ගණන් යටතේ බස්නාහිර පළාතේ රෝහල් තුළ වූ රෙදි පවිත්‍ර කිරීමට ගිවිසුම්ගත වී ඇති බවත්, ඉන් පසු වසර තුනෙන් තුනට මිල ගණන් සංශෝධනය වී වසර 15කට පසු නව තාක්ෂණය යටතේ යාවත්කාලීන කර ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදීමට නියමිත බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
රෙදිවල පවතින විෂබීජ ජීවාණුහරණය කර රෝගීන්ට පිරිසුදු අයුරින් රෙදි ලබාදීම ව්‍යාපෘතියේ අරමුණ වන අතර, දැනට මෙම ව්‍යාපෘතියට සමාන නවීන පන්නයේ ව්‍යාපෘතියක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ක්‍රියාත්මක වන බවත්, නව ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාතේ රැකියා විරහිත තරුණ තරුණියන් 300කට පමණ රැකියා අවස්ථා උදාවන බවත් සඳහන් කළේය.
බස්නාහිර පළාතේ මධ්‍යම රජයට පමණක් අයත් රෝහල්වල මේ වන විට දිනකට රෙදි කිලෝ ග්‍රෑම් 17,000ක් පමණ පවිත්‍ර කිරීමට සිදුව ඇතැයි පැවසේ.