ඉන්ධන මිල ඉහළ යාමත් සමග සිදුවිය යුතු බස්ගාස්තු සංශෝධනය ලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ 6.56% ක වැඩිවීම අවලංගු කර, 12.5% ක වැඩිකිරීමක් ලබාදීමට අදාළ යෝජනාව අද (22දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසිනි.එමෙන්ම මේහරහා අවම බස්ගාස්තුව රුපියල් 12 දක්වා වැඩිකිරීමටද නියමිතය.
මෙලෙස බස්ගාස්තු වැඩිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වුවහොත් ඒතුළින් ජාතික බස්ගාස්තු ප්‍රතිපත්තිය උල්ලංඝනය වීමක් සිදුවන බවත්,මේ හරහා ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්ද සිදුවන බව ජනතා සංවිධානය චෝදනා කරයි.
ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් 12.5%කින් බස්ගාස්තු වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලබාදුනහොත් මහජනතාව වෙනුවෙන් එය අභියෝගයට ලක්කරමින් අධිකරණයට යන බව එම ජනතා සංවිධාන ප්‍රකාශ කර සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ අසාධාරණ ලෙස බස්ගාස්තු වැඩිවීම අනුමත කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට බලාපොරොත්තු වන බවයි. ඒ සඳහා මහජනතාව වෙනුවෙන් පෙනී සිටින තවත් සංගම් එක්වීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර 12.5%ක බස්ගාස්තු වැඩිවීමක් ලබානොදුන්නහොත් හෙට (23දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගමනාගමනය නවත්වන බව ඇතැම් බස් සංගම් සඳහන් කර සිටී.
ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා සහ බස් සංගම් නියෝජිතයන් සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙලෙස බස්ගාස්තු වැඩිකිරීමට තීරණය කළේය.
සමස්ත ලංකා බස්හිමියන්ගේ සම්මේලනය සහ අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය විසින් බස්ගාස්තු සංශෝධනය සිදුවිය යුතු බව සඳහන් කරන අතර, ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ එලෙස වැඩිවීමක් අවශ්‍ය නොවන බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගන්නා තීරණය දෙස සියල්ලන්ගේම අවධානය යොමුව තිබේ.
ඉන්දික හේවාවිතාරණ/චාමර සම්පත්