බස් කර්මාන්තය පවත්වාගෙන යෑමට තරම් ආදායමක් බස්රථවලට නොලැබෙන නිසා ජූලි මාසයේදී සිදුවන බස්ගාස්තු සංශෝධනයේදී අනිවාර්යෙන්ම 20% ක බස්ගාස්තුවක් අවශ්‍ය බවත්, මීට අමතරව අවම ගාස්තුව වන රුපියල් නවයේ ගාස්තුව රුපියල් 10 ක් විය යුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය.
ඊයේ (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි මේ බව සඳහන් කළ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ගෙවීගිය කාලය පුරා ඩීසල් මිල ඉහළ නොගියත්, බස් ගාස්තු සංශෝධනයේදී සලකාබලන කරුණු 12 න් 11 කම පිරිවැය සීයට දෙසීයක්, තුන්සීයකින් ඉහළ ගොස් තිබෙන බවයි.
මේ අනුව වර්තමානයේදී 14% ක බස් ගාස්තු සංශෝධනයක් පෙන්නුම් කරන බවත්, මිට අමතරව පසුගිය වසරේ ගාස්තු සංශෝධනයේදී 12% ක් පැවතියත් එහිදී ලබාදුන්නේ 6%කට ආසන්න ගාස්තු ප්‍රතිශතයක් පමණක් බවත් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය.
ඉතිරි 6% ක ප්‍රතිශතය සඳහා සහන ලබාදෙන බවට ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය පොරොන්දු වුවද මෙතෙක් එම පොරොන්දුව ඉෂ්ට කර නොමැති බවද ඔහු පවසා සිටියේය.