බස්රථ සෙමින් ගමන් කිරීම නිසා අනවශ්‍ය මාර්ග තදබදයක් ඇතිවී මගීන්ගේ මූලික අයිතිවාසිකම් දිනෙන් දිනම උල්ලංඝනය වන නිසා, බස් රථවල ගමනාන්තය සඳහා නිශ්චිත කාලයක් හඳුන්වාදෙන ලෙසට ජාතික ගමනාගමන කොමිසමෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා මගී හිමිකම් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
මාර්ග නවීකරණය වී, මාර්ගවලට නවීන පන්නයේ බස් රථ පැමිණියද පෞද්ගලික බස් රථ හිමියන් සේවාව අමතක කර ලාභය මත බස් රථ ධාවනය කිරීම නිසා සමස්ත මගීන්ගේම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයසිංහ මහතා සඳහන් කළේය.
මේ නිසා ප්‍රධාන නගර හා තදාසන්න ප්‍රදේශවල ධාවන කාලය පැයට කිලෝමීටර් 8 - 10 අතර ප්‍රමාණයට සීමාවී තිබෙන බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පසුගිය කාලයේ බස්රථවල ගමන් කළ අති විශාල පිරිසක් පෞද්ගලික වාහනවලින් තම ගමන් පහසුව සලසා ගනිමින් සිටින බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසාද මාර්ගවල තදබදයක් ඇතිවී තිබෙනබවත් අදාළ තත්ත්වය නිසා බස්රථවල රාජකාරි කටයුතුවල හා වෙනත් ගමන් බිමන් යන මගී ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙම ක්‍රමය වෙනස් කිරීමට නම් මුලින්ම බස්රථ සඳහා ගමන් ආරම්භයේ සිට ගමන අවසන් කළ යුතු වේලාවන් ලබාදිය යුතු බවත්, එම වේලාවට නොපැමිණෙන බස්රථවලට ධාවන අවස්ථා අහිමි කළ යුතු බවත් ඔහු කියා සිටියේය.