බස්ගාස්තු පිළිබඳ ජාතික ප්රතිපත්තියට පිටින් සිදුකළ ගාස්තු සංශෝධනය නිසා මගියා කබලෙන් ලිපට වැටී තිබෙන බවත්, මේ හේතුවෙන් බස් කර්මාන්තයත්, ආණ්ඩුවත් වැඩිකල් නොගොස් නැතිවී යන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඉහළ දැමූ ගාස්තුව ජනතාවට දරාගත නොහැකි බවත්, ඒ හරහා මගීන් පොදු මගී සේවාවෙන් ක්රමක් ක්රමයෙන් ඉවත් වී යාම වළක්වාගත නොහැකි බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
ගාස්තු ඉහළ දමා තිබෙන්නේ වසර දෙකක් යනතුරු බස් ගාස්තු සංශෝධනයක් නොකිරීමේ පොරොන්දුවක් මත බවත්, මේ හරහා බස් ගාස්තු පිළිබඳ ජාතික ප්රතිපත්තියත් අවලංගු වී යන අතර, නිවැරදි ක්රමය වී තිබෙන්නේ වසරින් වසර ගාස්තු සංශෝධනය කිරීම බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.