බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 8න් 5 ක් නියත වශයෙන්ම එජාපය ජයගන්නා බවත්, එම ප්‍රමාණය 6 දක්වා වැඩිකර ගැනීම වත්මන් අභිප්‍රාය බවත් ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
අද (13 දා) නාමයෝජනා බාරදීමෙන් පසු බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රනාන්දු මහතා, "යහපාලනය ගැන අරුතක් ලබාදෙන අපි පෙළපාළි රතිඤ්ඤා සංදර්ශන කිසිදෙයක් කරන්නේ නැතිව ආණ්ඩු බලය පාවිච්චියට ගන්නේ නැතිව ඉතාම සංවරලෙස මැතිවරණ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම උසස්පෙළ දරුවන්ගේ විභාගය ගැන සිතා කටයුතු කරනවා
බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ ප්‍රතිවාදින් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම දෙස බැලුවම මොකක්ද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බිඳවැටීම කියන එක පැහැදිලිවෙනවා.
ස්ථාවර ආණ්ඩුවක් හරහා රට දියණු කරන්න එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව ලැබී තියෙනවා. ජයග්‍රහණය ගැන සැකයක් නැහැ. බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 8න් 5ක් ලබා ගන්නා බව අපිට විශ්වාසයි. දැන් අපි උත්සාහ කරන්නේ ඒක 6 දක්වා වැඩිකරගන්නයි" යැයිද පැවසීය
අපේකෂකයන් වන (බණ්ඩාරවෙල නගරාධිපති) චමින්ද විජේසිරි, ඌව පළාත් සභාවේ අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර හා වඩිවේල් සුරේෂ් ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි සමරවීර, ජයන්ත කන්නන්ගර, සෙනරත් ජයසූරිය සහ අබ්දුලි ලතීෆ් මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.