වත්මන් නොසන්සුන්කාරී තත්ත්වයන්ට පෙළඹවීම් ඇති කරමින්, ඉන්දියාවේ කැරලි කණ්ඩායමකට අවි ආයුධ සැපයුවේ යැයි චෝදනා ලබමින් වරදකරු වූ බංග්ලාදේශයේ විශාලතම ඉස්ලාමීය පක්ෂයේ නායක මොතියූර් රහ්මන් නිසාමි වෙත මරණීය දණ්ඩනය නියම වී තිබේ.
2004 වසරේදී ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ බෙදුම්වාදීන්ට ආයුධ 4,000ක් පමණ ලබාදුන්නේ යැයි, ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ නායක මොතියූර් රහ්මන් නිසාමි ඇතුළු තවත් 13ක් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුවී තිබිණි.
එවකට ඔහු කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර, එම චෝදනාවට වරදකරුවන් වූ සෙසු 13 දෙනාටද මරණ දණ්ඩනය නියම වී තිබේ. එම පිරිස අතර, බංග්ලාදේශයේ හිටපු ස්වදේශ කටයුතු ඇමතිවරයාද සිටින බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ නායක මොතියූර් රහ්මන් නිසාමි ප්‍රකාශ කර තිබේ.
මෙම චෝදනාවන්ට අමතරව, 1971 වසරේදී සිදු වූ බංග්ලාදේශ නිදහස් සටනේදී යුද අපරාධ සිදු කළ බවටද මොතියූර් රහ්මන් නිසාමි වෙත චෝදනා එල්ල වී ඇති අතර, ඒ සඳහාද ඔහුට මරණ දණ්ඩනය පනවනු ඇතැයි විශ්වාස කෙරෙන බව බී.බී.සී.ය වාර්තා කරයි.
මේ වනවිටත් ඔහුගේ පක්ෂයේ සාමජිකයන් කිහිප දෙනෙකුම මීට පෙර මෙවැනි චෝදනාවන්ට වරදකරුවන් වී ඇති අතර, ඔවුන් වැඩි දෙනෙකුට මරණ දණ්ඩනය හිමිවී තිබේ. කෙසේ වෙතත් තම පක්ෂයේ නායකයාට ලබාදුන් මෙම තීන්දුවට එරෙහිව ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂ සාමාජිකයන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරඹා ඇති බවද බංග්ලාදේශයෙන් වාර්තා වෙයි.