මේ වන විට පොළොන්නරුවේ මාස්කන්නයේ වී අස්වැන්න නෙළමින් පැවතියත්, වී මිල ශීඝ්‍ර ලෙස පහළ බසිමින් පවතින බව වාර්තා වේ. පෞද්ගලික වෙළෙඳුන් ගොවීන්ගෙන් නාඩු වර්ගයේ වී කිලෝවක් රුපියල් 18 සිට 22ක දක්වාත්, සම්බා වී කිලෝවක් රුපියල් 30 සිට 35ක මිලකටත් මිලදී ගන්නා අතර, වි අලෙවි මණ්ඩලය ගොවීන්ගේ වී මිලදී නොගන්නා බව වැලිකන්ද ප්‍රදේශයේ ගොවීහු පවසති.
මේ දිනවල පොළොන්නරුවේ වැලිකන්ද දෙහිඅත්තකණ්ඩිය අඹගස්වැව සහ මීගස්වැව ප්‍රදේශවල ගොඩ වී අස්වැන්න නෙළමින් පවතින අතර, ලබාගන්නා අස්වැන්න තුට්ටු දෙකට දීමට සිදුව ඇති බවද ගොවීහු පවසති. පසුගිය දිනවල නාඩු වී පමණක් කිලෝ එකක් රුපියල් 50 සිට 55 දක්වා පැවති අතර අස්වැන්න නෙළන සමය වන විට පෞද්ගලික වෙළෙඳුන් තමන්ගේ අස්වැන්න අසාධාරණ ලෙස තුට්ටු දෙකට මිලදී ගන්නා බව ගොවී කියති.
රජය විසින් වී මිලදී ගැනීම ආරම්භ කරනවා නම් මෙවැනි ආකාරයට වී මිල පහත නොවැටෙන බවත්, රජය සතුව වී තොග නොමැති වීම නිසා සහල් මිල ඉහළ යන අතර වී මිල පහළ යන ක්‍රමයට වී මෝල් හිමියන් සහ පෞද්ගලික වී මිලදී ගන්නන් විසින් මෙම ජාවාරම සිදුකරන බවයි. මෙසේ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගොවියාට අවශ්‍ය කිසිදු දෙයක් නිසි කලට බලධාරීන් විසින් ලබා නොදීමත්, ලබා ගන්නා අස්වැන්නට ඉහළ මිලක් ලබා නොදීමත් නිසා බව ගොවීහු පවසති.