හික්කඩුව පොලිස් වසමේ වැල්ලවත්ත පාලම අසලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි වයස අවුරුදු 26 සැකකාරියක හා වයස අවුරුදු 14ක සැකකරුවෙකු පසුගිය 6දා අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලීසිය කටයුතු කර ඇති අතර, ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව, වයස අවුරුදු 48ක් වූ ඉහත සැකකරුගේ සහ සැකකාරියගේ මවද හෙරොයින් ළඟ තබාගෙන සිටියදී පෝද්දල පොලිස් වසමේ කලේගාන විසි පාර අසලදී එම පොලිස් කණ්ඩායම විසින්ම ඊයේ (9දා) අත්අඩංගුවට ගෙන තිබේ.
මුලින් අත්අඩංගුවට පත් සැකකරු හා සැකකාරිය ළඟ තිබීම හෙරොයින් ග්රෑම් 9, මිලිග්රෑම් 265ක් පොලීසිය සොයාගෙන ඇති අතර, ඔවුන් පසුගිය 7දා ගාල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී ඔවුන්ගේ මව පිළිබඳවද තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසියට හැකිවී ඇත. ඒ අනුව, අත්අඩංගුවට පත් මුණුගොඩපාර, කලුපේ පදිංචි ඉහත සැකකරුවන්ගේ මව යැයි කියන තැනැත්තිය ළඟ තිබී හෙරොයින් ග්රෑම් 25, මිලිග්රෑම් 50ක් සොයාගැනීමට පොලීසියට හැකිවී තිබේ. එම සැකකාරිය අද (10දා) ගාල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගාල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පවසයි.