රටතුළ ප්‍රමාණවත් තෙල් සංචිතයක් පවත්වාගෙන යාමට ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කටයුතු නොකිරීමෙන් රටතුළ තෙල් අර්බුදයක් ඇති වූ බවට කැබිනට් මණ්ඩලයේදී අමාත්‍යවරුන් අර්ජුන රණතුංග අමාත්‍යවරයාට චෝදනාකර ඇතැයි වාර්තාවේ.
සැබෑ තත්ත්වය එසේ වුවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා තමාට දේශපාලන බලපෑම් එල්ලකළ බව පවසමින් මෙම ගැටලුව වෙනත් දෙසකට හැරවීමට උත්සාහකරන බවද ඊයේ (14දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අමාත්‍යවරුන් අර්ජුන රණතුංග අමාත්‍යවරයාට චෝදනාකර ඇතැයි සඳහන් වේ.
එමෙන්ම මෙම තෙල් අර්බුදයට අමාත්‍යවරුන් දෙදෙනෙකු වගකිවයුතු බවට අර්ජුන රණතුංග අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශ පිළිබඳ අමාත්‍යවරුන් මෙහිදී ප්‍රශ්න කර තිබූ අතර, එම අමාත්‍යවරුන් කවුරුන්දැයි කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කරන ලෙසද අර්ජුන අමාත්‍යවරයාට පවසා ඇත.
නමුත් ඒ අවස්ථාවේදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පවසා ඇත්තේ තමන් එසේ කිසිවක් නොපැවසූ බවයි.
ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස රටට අවශ්‍ය තෙල් තොග පවත්වාගෙන නොයෑමෙන් තෙල් අර්බුදය ඇති වූ බවත්, ඒ වෙනුවෙන් ඉන්දියාවට හෝ අයිඕසී සමාගමට චෝදනා කිරීම ඵලරහිත ක්‍රියාවක් බවත්, රට තුළ අයිඕසී සමාගමට ඇති ඉන්ධන පිරවුහම්හල් ප්‍රමාණය 10% ක් බවත් හිටපු ඛනිජතෙල් අමාත්‍යවරයෙකු විසින් එහිදී පෙන්වාදී තිබේ.
එම ඉන්ධන හල් සියල්ල නොමැතිව වුවද රටට තෙල් බෙදීම සිදුකළ හැකි බවත්, අර්ජුන රණතුංග අමාත්‍යවරයා විසින් තෙල් ගෙන්වීමට අදාළ ටෙන්ඩර් 03 ක් අවලංගු කිරීමද තෙල් අර්බුදය ඇතිවීමට හේතුවී ඇතිබවත් මෙහිදී චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
එය අනුමත කරමින් අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර, තෙල් අර්බුදයේ වගකීම බාරගන්නා ලෙසද එම අමාත්‍යවරුන් අර්ජුන අමාත්‍යවරයාට ප්‍රකාශකර ඇත.
කැබිනට් මණ්ඩලයේදී අමාත්‍යවරුන් ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ අර්ජුන රණතුංග අමාත්‍යවරයා සිදුකර ඇති ප්‍රකාශය වහාම නිවැරදි කරන ලෙසයි.
මේ අතර තෙල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනුකාරක සභාව සිය වාර්තාව ඊයේ(14දා) ජනාධිපතිවරයාට බාරදී තිබිණි.