රටතුළ පැනනැඟී ඇති පෙට්‍රල් අර්බුදය මේ දක්වා විසඳාගත නොහැකිවීම සම්බන්ධ වගකීම රජයබාරගන්නා බව සම කැබිනට් ප්‍රකාශකවරුන් වන දයාසිරි ජයසේකර, රාජිත සේනාරත්න සහගයන්ත කරුණාතිලක යන මහත්වරු රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අද (08දා) පැවසූහ.
බාල ඉන්ධන ගෙනා ඉන්දියානු නැව සම්බන්ධව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගෙන් අර්ජුන රණතුංග ඇමතිවරයාට බලපෑමක් සිදුව නැති බවත්,ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී අර්ජුන රණතුංග මහතා සමග මතගැටුමක් ඇති නොවූ බවත්, ඇමතිවරුන් ඔහුගෙන් ප්‍රශ්න කළ බවත් සම කැබිනට් ප්‍රකාශකවරු සඳහන් කළහ.
දැනට නැංගුරම්ලා තිබෙන ඉන්දීය නැවේ ඉන්ධන පරීක්ෂණ දෙකක් සිදුකිරීමෙන් පසුව තුන්වැනි පරීක්ෂණය සිදුකරන ලෙසට අර්ජුන රණතුංග මහතාට බලපෑම් එල්ලවී තිබෙන බවත්, එම පරීක්ෂණයේ ප්‍රතිඵලය පිළිබඳ සැක සිතෙන බැවින් එම පරීක්ෂණය සිදුකර නොමැති බවත් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවේදී තීන්දු තීරණ ගැනීම සඳහා සරත් අමුණුගම,අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග යන මහත්වරුන්ගෙන් යුතු කමිටුවක් පත් කළ බවත්,ඉන්ධන අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් සොයාබලා දඬුවම් කිරීම සඳහා ඉදිරියේදී තවත් කමිටුවක් පත් කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
දූෂිතයන්ට දඬුවම් කිරීම සඳහා ඉදිරියේදී අධිකරණ පිහිටුවීමට යන බැවින් බිය වී හිටපු ජනාධිපතිවරයාග් පාර්ශ්වය පෙට්රල්වලින් ගොඩයෑමට උත්සහ ගන්නාබවද රාජිත සේනාරත්න මහතා කීවේය.