පළාත් පාලන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පළාත් පාලන ආයතන 06ක ඡන්දදායකයන් පිරිසක් විසින් ගොනුකරන ලද රීට් පෙත්සම අද (16දා) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
පළාත් පාලන ආයතන 06ක ඡන්දදායකයන් පිරිසක් විසින් ගොනුකරන ලද මෙම රීට් පෙත්සම ඊයේ (15දා) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලිණි.
මෙහිදී එම පෙත්සමට මැදිහත්වීමට තමන්ටද අවසර දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා සහ නීතිඥවරියක විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම්වලට අවසර දෙන්නේද, යන්න පිළිබඳවද අද (16දා) දිනයේදීම සලකා බැලීමට නියමිතය.
පළාත් පාලන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් වතුගෙදර විජේරත්න මහතා ඇතුළු මහනුවර, ඇඹිලිපිටිය, කොළඹ, මාතර හා හාලිඇළ යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙම පෙත්සම් ගොනුකර ඇති අතර, එහි වගඋත්තරකරුවන් වශයෙන් පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කර තිබුණි.
මෙම පෙත්සම ඇල්.ටී.බී. දෙහිදෙණිය, කුමුද්නි වික්‍රමසිංහ සහ ශිරාල් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිනි.
වතුගෙදර විජේරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ගොනුකරන ලද මෙම පෙත්සම්වලට අතරමැදි පෙත්සම්කරුවන් ලෙස මැදිහත්වීම සඳහා තමන්ටද අවසර දෙන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා සහ නීතිඥ සාගරිකා කාරියවසම් මහතා අතරමැදි පෙත්සම්කරුවෝ ලෙස අධිකරණයට ඉදිරිපත් වූහ.
පෙත්සම්කරුවෝ මහනුවර නගර සභාව, කොළඹ නගර සභාව, මාතර නගර සභාව, පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව සහ හාලිඇළ ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන බලප්‍රදේශ නියෝජනය කරන ඡන්දදායකයෝ වෙති.
පළාත් පළාන ආයතනවල සීමවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් 2017 පෙබරවාරි 17 වැනිදා අංක 2006/44 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ බවත්, එහිදී වගඋත්තරකාර පළාත් පාලන ඇමතිවරයා විසින් සිය බලය අභිභවා යමින් බහුවිධ මන්ත්‍රී ආසන, කේවල මන්ත්‍රී ආසන වශයෙන් මාරුකළ බවත් පෙත්සම්කරුවෝ සඳහන් කර සිටිති.
කේවල මන්ත්‍රී ආසන, බහුවිධ මන්ත්‍රී ආසන වශයෙන් මාරුකළ බව සඳහන් කරන පෙත්සම්කරුවෝ, වගඋත්තරකාර පළාත් පාලන ඇමතිවරයාගේ මෙම ක්‍රියාව නීතියට පටහැණි බවද සඳහන් කර සිටිති.
එබැවින් අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සම විභාග කොට අවසන් කරන තෙක් ගැසට් නිවේදනය බලාත්මක කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙන්වෙන් නීතිඥ ඇන්.ඇම්. ෂහිඩ් මහතා පෙනී සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා පෙනී සිටියේය.
අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා පෙනී සිටියේය.