ලොව ප්‍රථම වතාවට ඩ්‍රැගන් ෆෘට් පලතුර උපයෝගී කරගෙන පිළිකා පියවි සෛල නැසීම සඳහා ස්වාභාවික ඖෂධයක් නිපදවීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සමාෂි මුණවීර සිසුවිය සමත්ව තිබේ.පපුවේ වේදනාවට හා අධික රුධිර පීඩනයට ඇමෙරිකාවේ පිළිගත් ඖෂධයක් වන ඩ්‍රැගන් ෆෘට් පලතුරු පොත්තේ නිස්සාරිත නිස්සාරණය සමග යම් අනුපාතයකට මිශ්‍රකර පිළිකා පියවි සෛල වෙත යොමුකිරීම සිදුකර එහි සුසංයෝගයෙන් මෙම ඖෂධය නිපදවා තිබේ. මෙහි සුවිශේෂීත්වය වන්නේ මෙය පියයුරු පිළිකා නැසීමේ ගුණයෙන්ද යුක්ත වීමයි.
ජාතික විද්‍යා පදනමේ විද්‍යා හා පර්යේෂණ තරග සඳහා පාසලෙන් ඉදිරිපත් වූ සමාෂි, වර්තමානයේ ඉතා දරුණු ලෙස පැතිරී යන පිළිකා රෝගයට ප්‍රතිරෝධී වන අතුරුආබාධ නොමැති ස්වාභාවික ඖෂධයක් නිපදවීමට සමත්වූවාය. ජාතික විද්‍යා පදනමට යොමුකළ පර්යේෂණ යෝජනාවෙන් තේරී පත්වූ ඇය පර්යේෂණය සිදුකිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අනුක ජෛවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ පර්යේෂණය සිදුකළාය.
අප කළ විමසුමකදී නව සොයාගැනීම පිළිබඳව සමාෂි විහංගා දැක්වූයේ මෙවන් අදහසකි. “මම 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විට පාසලේ විද්‍යා විෂය උගන්වන සාගරිකා ජයතිලක ගුරු මහත්මිය ජාතික විද්‍යා පදනම මගින් පැවැත්වීමට සංවිධානය කර තිබූ විද්‍යා පර්යේෂණ තරගය පිළිබඳව දැනුවත් කළා. ඊට අයදුම් කළ පසු මා ඇතුළු බොහෝ සිසු සිසුවියන්ට ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය ගැන විශේෂඥවරුන් අපව දැනුවත් කළා. ඉන්පසුව මා වර්තමානයේ සමාජය තුළ ඉතා සුලබව දක්නට ලැබෙන පිළිකා රෝගයට අතුරුආබාධවලින් තොර ස්වභාවික ඖෂධයක් නිපදවීමට පර්යේෂණ යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ සඳහා අවශ්‍ය තොරතුරු පොත්පත් කියවීමෙන් සහ අන්තර්ජාල භාවිතයෙන් රැස්කළා.
ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර මසකට පමණ පස්සෙ ජාතික විද්‍යා පදනම විසින් මගේ යෝජනාවද තෝරාගත් බව දන්වා සිටියා. පසුව ජාතික විද්‍යා පදනම මගින් මෙම පර්යේෂණය සිදුකිරීම සඳහා අදාළ උපදෙස් සහ මගපෙන්වීම ලබාගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා වෙත මා යොමුකළා. ඒ වනවිටත් ඔහු මගේ ව්‍යාපෘති යෝජනාව කියවා තිබුණා. මම ඒ ඖෂධය නිපදවීමට කහ ශාකය යෝජනාකර තිබුණද ඔහු කියා සිටියේ කහ ශාකයෙන් ඖෂධ දැනටමත් නිපදවා තිබෙන නිසා නව සොයාගැනීමක් වෙන්නෙ නැහැ කියලා.
පස්සෙ අන්තර්ජාලය හා විද්‍යුත් සඟරා බොහෝමයක් කියවලා ඩ්‍රැගන් ෆෘට් පලතුර තෝරාගත්තා. ඒ සඳහා ආචාර්ය සමරකෝන් මහතා එකඟ වුණා. පිළිකා සෛල පමණක් නොවෙයි දැනට පවතින ඖෂධ සහ රේඩියෝ තෙරපිවලට ප්‍රතිරෝධී වන පියයුරු පිළිකා පියවි සෛල ඉලක්ක කර ගැනීමටත් මෙම පලතුරට හැකිද යන්න පිළිබඳ අපි සොයා බැලුවා. අප සිදුකළ මූලික පරීක්ෂණයේදී සනාථ වුණේ එම පලතුරේ පොත්ත, මදයට වඩා වේගයෙන් පිළිකා පියවි සෛල විනාශ කරන බවයි.
ඩ්‍රැගන් ෆෘට්වල පොත්ත සතු පිළිකා නාශක අනෙක් සම්මත ඖෂධ තරම් සක්‍රීය නොවීමට හේතුව විය හැක්කේ, සාමාන්‍ය‘යෙන් පිළිකා පියවි සෛල සතු සෛලවලට උරාගත් ඖෂධ නැවත සෛල පටලයේ එක්තරා ප්‍රෝටීනයක් මගින් සිදුරු සාදා ඒවා සෛලයෙන් ඉවත් කරනවා විය හැකි බවට කල්පිතයක් අපි ගොඩනැගුවා. ඒ අනුව දැනට ඇමෙරිකාවේ එෆ්.ඩී.ඒ. ආයතනය පවා ඖෂධයක් ලෙස පිළිගෙන ඇති පපුවේ වේදනාවට හා අධික රුධිර පීඩනයට භාවිත කරන එක්තරා ඖෂධයක් ඩ්‍රැගන් ෆෘට් පලතුරු පොත්තෙන් නිස්සාරිත නිස්සාරණය සමග යම් අනුපාතයකට මිශ්‍රකර පිළිකා පියවි සෛල වෙත යොමුකිරීම සිදුකළා.
එහිදී විස්මිත ලෙස එම සුසංයෝගයට පිළිකා පියවි සෛල විනාශ කළ හැකි බව සොයාගැනීමට හැකිවුණා. මෙහි ඇති විශේෂත්වය නම් එම ඇමෙරිකානු ඖෂධය මීට පෙර පිළිකා සම්බන්ධ කිසිදු පර්යේෂණයකට භාවිත කර නොතිබීමයි. මෙම සුසංයෝගී ඖෂධයෙන් සාමාන්‍ය පියයුරු සෛලවලට හානි සිදුනොකරන අතර, පියයුරු පිළිකා නසන ගුණය ඇති බවද සොයාගැනීමට හැකිවුණා.
ලොව ප්‍රථම වරට මෙවැනි ස්වාභාවික සුසංයෝගී ඖෂධයක් නිපදවීමට මට හැකිවීම ගැන ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. මගේ සොයාගැනීම පසුගියදා ජාතික විද්‍යා පදනම මෙහෙය වූ කනිෂ්ඨ විද්‍යා සමුළුවේදී හොඳම දසදෙනා අතරට පැමිණීමට හැකිවුණා. එමෙන්ම පෙබරවාරි මස 09 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් වටයෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇමෙරිකාවේ INTEL ISEF 2017 තරගයට සහභාගි වීමට හැකිවේ යැයි මා සිතනවා. මගේ සොයාගැනීම නුදුරේදීම අන්තර්ජාතිකව පළවන පිළිගත් විද්‍යා සඟරාවට සූදානම් කරනවා.
මෙවැනි තරගාවලියකට මා යොමුකිරීම පිළිබඳව විදුහල්පතිනි මාලිනී හේරත් මහත්මියට ස්තුතිය පුදකරනවා. එමෙන්ම ආචාර්ය සමීර සමරකෝන් මහතා ඇතුළු එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක වන කමනී තෙන්නකෝන්ද, නිර්මලී ලුව්, මෙරාන් එදිරිවීර සහ වරුණි වින්ද්‍යා සහ රානා මොහාන් යන පර්යේෂකයන් මා හට ලබාදුන් සහයෝගය මා අගය කරනවා. ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු සහ විද්‍යාව ප්‍රචලිත කිරීමට අදාළ අංශයේ අධ්යක්ෂ ජනක කරුණාසේන මහතා ඇතුළු එහි කාර්යමණ්ඩලයද මා ස්තූති පූර්වකව සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා."
ගයාන් සූරියආරච්චි