දින තුනක් තිස්සේ කිසිදු ආහාරයක් හෝ දුරකථන ඇමතුමක් ලබා ගත නොහැකිව කටුනායක ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටිනා 34 හැවිරිදි පිලිපීන ජාතිකයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ .
මෙම පුද්ගලයා 13 දා තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කටාර් රාජ්‍යයේ තාක්ෂණවේදියෙකු ලෙස රැකියාවක් සඳහා යෑමටය . ඔහු මෙම ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා තෝරා ගෙන තිබුණේ , කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ඍජු ගුවන් ගමන් සේවා පැවතීමත් , වෙනත් ගුවන් සේවා වලට සාපේක්ෂව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මිල ගණන් අඩු වීමත් නිසාය.
14 දා ඔහු කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත යෑමට ශ්‍රී ලංකන් ගුවන් යානය වෙත ගියත් , ඒ වනවිටත් එම ගුවන් යානය අවශ්‍ය මගීන්ගෙන් පිරී පැවතීම නිසා , ඔහුට එම යානය ප්‍රතික්ෂේප වී , ගමන් ගැනීමට නොහැකි වී තිබේ.
එතැන් සිට ඔහු මේ වනතුරුත් කිසිදු ආහාරයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දිය නොහැකිව කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයට වී බලා සිටින අතර , ඔහු පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය හෝ ගුවන් තොටුපොළ බලධාරීන් කිසිදු සොයා බැලීමක් සිදු කර නොතිබිණ.
මේ අතර තම සොහොයුරාගේ හදිසි අතුරුදහන් වීම පිළිබඳව සොයා බැලීම සඳහා , මෙම පිලිපීන ජාතිකයාගේ සොහොයුරියක් කටාර් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ඇය මෙම සිදිධිය ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට පවසා තිබේ. ජාත්‍යන්තර නීතිය අනුව පැය 12 කට වඩා කිසිදු පුද්ගලයකු , නීතිමය අවසරයකින් තොරව රඳවා තබා ගෙන සිටීම තහනම් කටයුත්තකි.