දේශපාලන වාසි අපේක්ෂාවෙන් ආගමික මධ්‍යස්ථාන සහ පාසල් ඉලක්ක කරගනිමින් සිදුකරන කිසිදු ක්‍රියාමාර්ගයක් ශිෂ්ට සමාජය අනුමත නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ බියගම, මල්වාන අල්මුබාරක් ජාතික පාසලේ තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (15 දා) එක්වෙමිනි.
ඕනෑම රජයක් බලයේ සිටින කාලපරිච්ඡේදය තුළ ආරම්භ කරන ඇතැම් සංවර්ධන ක්‍රියාදාමයන් වැඩ අවසන් වීමෙන් අනතුරුව ජනතාවට පැවරීමේ අවස්ථාව වෙනත් රජයන්ට පැවරෙන බවයි.
ඉතිහාසය පුරා එවැනි උදාහරණ රැසක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගිය රජය සමයේ ආරම්භ කළ තාක්ෂණික විද්‍යාගාර වත්මන් රජයේ අමාත්‍යවරුන් අතින් විවෘත වීමද එවැනිම උදාහරණයක් බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ රජය සමයේ ආරම්භ කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු අවසන් කිරීමේ අවස්ථාව පසුගිය රජයට ලැබුණු නමුදු එවැනි අවස්ථා ජනතාවට පැවරීමේ උත්සවවලට බාධාවන අයුරින් කටයුතු නොකළ බව ඒ මහතා මෙහිදී පැවසීය.
මල්වාන, අල්මුබාරක් ජාතික පාසලේ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු දරුවන් වෙත පැවරීමේ අවස්ථාවට අවහිර වන අයුරින් විපක්ෂ දේශපාලන මත දරන පිරිසක් අද බාධා කිරීම පාසල් දරුවන්ට ලබාදුන් වැරදි ආදර්ශයක් බව ඔහු පැවසීය.
විශේෂයෙන්ම පාසල් දරුවන්ට ආදර්ශයක් වන අයුරින් මහජන නියෝජිතයන් කටයුතු කළ යුතු බව හෙතෙම සඳහන් කළේය. ඇතැම් දේශපාලඥයන් දේශපාලන වාසි අපේක්ෂාවෙන් විහාරස්ථාන ඇතුළු වෙනත් ආගමික මධ්‍යස්ථාන තුළද, පාසල් ඉලක්ක කරගනිමින්ද සිදුකරන මෙම වැරදිසහගත ක්‍රියා නරක ප්‍රවණතාවක් බැවින් ඒවා වහා නතරවිය යුතු බවද ඔහු මෙහිදී පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ශිෂ්ටසම්පන්න දේශපාලනයක නිරත වන ආදර්ශවත් දේශපාලන නායකයන් බව පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාවරයා, දේශපාලන බලය අවභාවිත කරන පිරිස් එම වැරදි කටයුත්තෙන් ඈත්වීමට ආදර්ශමත් දේශපාලන නායකයන් අනුගමනය කිරීම කාලෝචිත බවද පැවසීය. පාසල් තුළ සහ ආගමික මධ්‍යස්ථාන තුළ දේශපාලන මත ඉස්මතු කිරීම සහ ඒවාට අනුබල දෙන ක්‍රියාමාර්ග දියත්වීමෙන් යහපත් පුරවැසියන් නිර්මාණය කිරීමට කැපවී සිටින එම ආයතනවල මූලික හරයන් බිඳවැටෙන බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මල්වාන අල්මුබාරක් ජාතික පාසලේ තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට මහජන සාමය හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, අධ්‍යාපන රාජ්‍ය ඇමති වී. රාධක්‍රිෂ්ණන් යන අමාත්‍යවරුද සහභාගී වූහ.