අයවැය ලේඛනයෙන් වැඩි කළ දුරකථන බද්ද අදාළ සමාගම් හා ව්‍යාපාරිකයන් ලබන අසීමිත ආදායමෙන් අය කිරීම රජයේ අරමුණ වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (13දා) පෙරවරුවේ අඟුලාන වෙරළ තීරයේ පැවැති පරිසර සංරක්ෂණ වැඩසටහනකට සහභාගි වෙමිනි.
අදාළ බදු මුදලපාරිභෝගිකයාගෙන් අයකරගැනීමට රජය කටයුතු කරන බවට මහජනතාව දැඩි බියකින් පසුවන බවත්,ඒ අනුව ඉදිරියේදී දුරකථන ගාස්තු පවා ඉහළ යා හැකි බවට අදහස් ප්‍රචාරය වන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මහජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බවද සඳහන් කළේය.
"දැන් ජංගම දුරකථන ඇතුළු දුරකථනවලින් බද්දක් අය කිරීමට රජය කටයුතු කරන බවත්, ඒ නිසා ඉදිරියේදී දුරකතන ඇමතුම් ගාස්තු පවා ඉහළ යා හැකි බවත් සමහරු ප්‍රකාශ කරනවා. නමුත් මම පැහැදිලිවම කියනවා රජය මෙම දුරකථන බද්ද අය කරන්නේ මහජනතාවගෙන් නොවෙයි. එම සමාගම් හා ව්‍යාපාරිකයන් ලබන අසීමිත ආදායමෙනුයි අපි ඒ බද්ද අය කරන්නේ.
දුරකථන සමාගම් දුරකථන කුලුනු හරහා විශාල ආදායමක් උපයනවා. අපි මේ කුලුනු සියල්ලම එක තැනකට ගෙන ඒමයි අපේ අරමුණ. ඒ නිසා දුරකථන ගාස්තු මෙම බද්ද නිසා කිසිසේත්ම ඉහළ දමන්නට අපි ඉඩ තියන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් මහජනතාව අනිසි බියක් තබාගන්නට අවශ්‍ය නැහැ."